මාලිමාණ්ඩුවේ ජනවරම ආරක්ෂා කිරීමට කැපවෙනවා…! – විමල්…

November 21, 2024 at 3:09 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ නම් වූ සන්නාමයේ ගුණාංග නිර්මාණය කිරීම සඳහා ඓතිහාසික භූමිකාවක් ඉටුකළ බලවේගයක් ලෙස වර්තමාන ආණ්ඩුවේ ජනවරම ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ලබාගත් ජනවරමේ දිගුවක් ලෙස ජනතාව විසින් එම ජනවරම තවදුරටත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඓතිහාසිකව සුවිශේෂී ජනවරමක් ලබාදී ඇත. එම ජනවරම හිසට බරක් වන බව සහ එය අවභාවිත නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් සඳහන් කිරීම අපි අගය කරමු.

එම ජනවරමට ගරු කරන බව සහ ඊට එරෙහිව ක්‍රියා කිරීමට කටයුතු නොකරන බව මෙන්ම එය ආරක්ෂා කරන බව සහ ආණ්ඩුව ඊට එරෙහිව ක්‍රියාකිරීම වැළැක්වීම අපගේ ඉදිරි දේශපාලන භූමිකාව බව අප විසින් දැනටමත් මහජනයාට දන්වා ඇත.

ඒ අනුව මෙම ජනවරම නිවැරැදිව කියවා ගැනීම හෙවත් එය නිර්මාණය කළ ජනතාවගේ හදවත්වල තැන්පත් වී ඇති දීර්ඝ කාලීන අපේක්ෂා පිළිබඳව ආණ්ඩුව මෙන්ම මහ ජනයා ලෙස අප සැම ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ.

යුද්ධය අවසන් කිරීමෙන් පසුව උතුරේ සහ දකුණේ ජනතාව අතර “මානසික පාලම” ඉදිකිරීම මඟින් බෙදුම්වාදය සහ ජාතිවාදය පරාජය කිරීම වෙනුවට “කොන්ක්‍රීට් පාලම්” ඉදිකර කොමිස් ගැසීමේ බැසිල් රාජපක්ෂ න්‍යාය ප්‍රතික්ෂේප කිරීමේ ජනවරම නිර්මාණය කිරීමටද එම සුවිශේෂී ජන කණ්ඩායම දායක විය.

ඉන් පසුව 2015 – 2019 කාලයේදී නැවත වටයකින් රනිල් වික්‍රමසිංහ පාලනය විසින් නිර්මාණය කළ අර්බුද විසඳීම සඳහා ගෝඨාභය රාජපක්ෂට ලබාදුන් 69 ලක්ෂයක ජනවරම නිර්මාණය කරන්නේද අද අනුර දිසානායක ජනාධිපතිවරයාගේ 69 ලක්ෂයක ජනවරමට දායක වූ අති බහුතරයකි.

එම දීර්ඝ ඉතිහාස කතාව වැදගත් වන්නේ අප රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ඓතිහාසික සභ්‍යත්ව උරුමය ආරක්ෂා කිරීම සඳහා කැපවන සහ නිර්භීතව දේශපාලන තීන්දු ගන්නා ලක්ෂ 60 – 70ක ඡන්දදායකයන් පිරිසක් සිටින බව පෙන්වා දීම සඳහාය. ඔවුන් 1977 සිට වර්ධනය වූ “පාදඩ ප්‍රභූ දේශපාලන සංස්කෘතියට” අකැමැති පිරිසකි. මෙවර එම “පාදඩ ප්‍රභූන්ට” ඡන්ද පාවිච්චි නොකළ 60 ලක්ෂයක ජනතාවද අපගේ ඇගයීමට ලක් වේ.

“පාදඩ ප්‍රභූන්ට” එරෙහිව ගොඩනැඟෙන විරෝධය තුළ විකල්පය බවට හෙවත් “ගැලවුම්කාරයා” බවට ජාතික ජන බලවේගය පත්වන්නේ සුවිශේෂී ඓතිහාසික සාධකයක් නිසා බව තේරුම් ගැනීම ජනවරම නිවැරැදිව කියවා ගැනීම සඳහා ඉතා වැදගත් වේ. ජාතික ජන බලවේගය තෝරාගැනීම බවට පත්වන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් තම අතීත උරුමය, එනම් මහා කැප කිරීම් තුළින් නිර්මාණය කළ “සන්නාමය” පිළිබඳව ඇති ගෞරවය, ආදරය හා පිළිගැනීම නිසා බව සැඟවිය නොහැකිය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට අනුව දියත් වූ මෙහෙයුමක් මඟින් බලයෙන් පහකර ඔහු අත වූ “රිලේ බැටන් එක” රනිල් වික්‍රමසිංහ අතට ලබා දීමෙන් පසුව ඔහු විසින් 2002දී සකස් කිරීම ආරම්භ කළ ධාවන පථය 2022 – 2024 කාලය තුළ කොන්ක්‍රීට් වැටවල් දමා ශක්තිමත් කරනු ලැබීය.

දැන් “බැටන් පොල්ල” ජනතාව විසින් අනුර දිසානායක මහතා අතට ලබාදුන්නද ඔහුද දුවමින් සිටින්නේ එම පැරැණි ධාවන පථය තුළමය. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ බලපෑම මත සම්මත කළ අණපනත් සහ ඔවුන් විසින් ස්ථානගත කළ නිලධාරීන් ආදී පවුරු මඟින් එම ධාවන පථය තව දුරටත් ආවරණය කර ඇත.

විශේෂයෙන්ම උතුරු සහ නැඟෙනහිර පළාත්වල ජනතාව විසින් දෙමළ ජාතිවාදය සහ බෙදුම්වාදයට එරෙහිව නිර්මාණය කළ ජනවරම ඊනියා සිංහල ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස කියවා ගැනීමේ වරද ඉතා බරපතළ වේ. ඒ මඟින් දෙමළ බෙදුම්වාදීන්ට පාර්ලිමේන්තුවේ ආසන අහිමි කළ සහ ඔවුන්ගේ ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කළ ජනතාවගේ නාමයෙන් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ඉටුකර ගැනීමට අවකාශය සැලසේ. එය වළක්වාගත හැක්කේ උතුරේ සහ දකුණේ ජනතාවගේ අපේක්ෂා හෙවත් ජනවරම නිවැරැදිව කියවා ගැනීම මඟිනි.

13 වැනි සංශෝධනය බලාත්මක කිරීම මඟින් බෙදුම්වාදීන්ට පොලිස් බලය ලබා දීමෙන් සමාජ – ආර්ථික පීඩනයට අමතරව කුල පීඩනයට ද ගොදුරුව සිටින අතිබහුතරයක් දෙමළ ජනතාවට සාධාරණය ඉටුවන්නේ නැත. ඒ මඟින් සිදුවන්නේ එම ජනතාව තව දුරටත් පීඩාවට පත්වීම පමණකි. ඔවුන්ගේ පන්තියේ පුද්ගලයකු ජනාධිපති කරවීම මඟින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ව ආර්ථික සහ කුල පීඩනය ඇතුළු සමාජයීය පීඩනයන්ගෙන් ගලවා ගැනීමය. ඒ සඳහා කළ යුතු දේ ලැයිස්තුගත කිරීම “රොකට් විද්‍යාවක්” නොවේ.

එහෙත් රටේ අවාසනාවකට ඒ සියල්ලට අදාළ “ප්‍රතිපත්තිමය බෙදීම හෙවත් සංවාදය” ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදු නොවීය. එය සමාන වන්නේ ජනතාව විසින් ආණ්ඩුවට “හිස් චෙක් පතක්” අස්සන හා දිනය යෙදීමෙන් තොරව භාරදීම වැනි ක්‍රියාවකටය.
දේශපාලන සංවාදය තුළ එම “ප්‍රතිපත්තිමය බෙදීම” ඇති කිරීමට ආණ්ඩුවට විරුද්ධ විපක්ෂය මෙන්ම ආණ්ඩුවට මඟ පෙන්වන විපක්ෂයද අසමත් වීම පිළිබඳව අපටද වරද පැටවෙන බව නිහතමානීව පිළිගනිමු.

නමුත් ඉතිහාසය තුළ පක්ෂයක් ලෙස අප දේශපාලන තීන්දු ගැනීමේදී පුද්ගලයන් ලෙස අපට ලැබෙන දේ හෝ අප ආණ්ඩුව තුළ නියෝජනය වනවාද නැත්ද යන්න හෝ සාධකයක් ලෙස සැලකිල්ලට ගෙන නැත. ඒ අනුව අප පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොවීම අපගේ දේශපාලන භූමිකාව ඉටුකිරීම සඳහා බාධකයක් ලෙස නොසලකන බව පොදු මහ ජනතාවට දන්වා සිටිමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස