වත්මන් ආණ්ඩුව පසුගිය සති හයට පමණක් රුපියල් ට්‍රිලියන 1.162ක් ණය ලබාගෙන ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
“ඉකුත් 6දා වන විට වත්මන් ආණ්ඩුව ලබාගෙන තිබෙන මුළු ණය මුදල රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගියා. නොවැම්බර් 6 වැනිදා ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් රුපියල් බිලියන 175ක් ණයට ගත්තා. ඊයේ (07දා) තවත් රුපියල් බිලියන 17.5ක් ණයට ගැනීමට නියමිතව තිබිණි. ඒ අනුව වත්මන් ආණ්ඩුව පසුගිය සති හයට පමණක් රුපියල් ට්‍රිලියන 1.162ක් ණය ලබාගෙන තිබෙනවා. බිලියන ට්‍රිලියන කිව්වාම සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නෑ. සාමාන්‍ය ජනතාව දන්නේ කෝටිවලින්. නමුත් කෝටිවලින් කියාගන්න බැරි තරම් මේ ඉලක්කම ලොකුයි. කෝටි සීයක් බිලියන එකයි. බිලියන 1000ක් ට්‍රිලියන එකයි. දැන් කෝටිවලින් එන ගණන හිතාගන්න පුළුවන්නෙ.
මේ ණය ලබාගැනීමේ දී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් බිලියන 963ක්, බැඳුම්කර නිකුත් කිරීමෙන් බිලියන 139ක් සහ ලෝක බැංකු ණයක් ලෙස ඩොලර් මිලියන 200ක් ණයට ලබාගෙන තිබෙනවා. මේ ආණ්ඩුව බලයට එන විට නිදහසින් පසුව ගෙවුණු වසර 76ටම ලබාගත් ණයවලින් ගෙවීමට ඉතිරිවී තිබුණේ රුපියල් ට්‍රිලියන 30යි. නමුත් පසුගිය සති හයට ලබාගෙන තිබෙනවා ට්‍රිලියන 1.162ක්. මේ ආණ්ඩුව වසර පහක් බලයේ හිටියොත් ශ්‍රී ලංකාව යළි ගොඩගැනීමට නොහැකි ණය කන්දකට යට කරන බව නම් සහතිකයි.”