ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට සහ ඔහුගේ බිරිඳට එළැඹෙන දෙසැම්බර් මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (04) නියෝග කළේය.
ඒ කිරුළපන ප්රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීමේ ආයතනයක් වෙනුවෙන් 2016, 2017 සහ 2018 වර්ෂ සඳහා රජයට ගෙවිය යුතු රුපියල් කෝටි තුනකට අධික වැට් බදු නොගෙවීම සම්බන්ධයෙනි.
ජනක රත්නායක හා ඔහුගේ බිරිඳ වන කුමාරි යසෝදා සිල්වා මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් බවත් ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් දන්වා සිතාසි නිකුත්කර තිබුණි.
එහෙත් එම වගඋත්තරකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිට ඒ වෙනුවට එම සමාගමේ වෙනත් අධ්යක්ෂවරයෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
එබැවින් වගඋත්තරකාර යුවළට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
එම ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.