ආණ්ඩුවේ වැඩපිළිවෙළ අනුමත කරන්න බෑ… තීන්දුවක් ගන්න සූදානම්…! – මහින්ද…

May 17, 2024 at 11:59 am | by emanisa.lk

ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ තමන් අනුමත නොකරන බවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට පසුබට නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙම ආණ්ඩුව සමග එකට කටයුතු කළත් තමන්ගේ සහ පක්ෂයේ ස්වාධීනත්වය ආණ්ඩුවට පාවා නොදුන් බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

මැතිවරණ ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පක්ෂය තුළ ශක්තිමත්ව සාකච්ඡා සිදුකරමින් පවතින බවත් රාජපක්ෂ මහතා එහිදී කීවේය.

මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය‍ හෝ ඇතුළු ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

ජාතික සම්පත් විකිණීම ඇතුළු ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන තරයේ විරෝධය පළ කරන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අති බහුතරය ඒ මතය තුළ සිටින බවත් හිටපු ජනාධිපතිවරයා පැවැසීය.

ආණ්ඩුවේ අයිතිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඇති බැවින් ආණ්ඩුවට තම මතය ප්‍රකාශ කිරීමට ඕනෑම වෙලාවක සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

ආණ්ඩුවෙන් ඉවත්වන්නේ දැයි එහිදී මාධ්‍යවේදියකු සිදුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවැසුවේ රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට තමන් සූදානමින් සිටින බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *