මහ මැතිවරණය මුලින් දෙන්න ජනපති 113ක් ඉල්ලයි…!

March 17, 2024 at 3:53 pm | by emanisa.lk

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 දෙනකුගේ අත්සන් සහිත ලේඛනයක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීම සුදුසු බවට ජනාධිපති වෙත යෝජනා කළ දේශපාලනඥයන් පිරිසක් වෙතය.

ඊට අමතරව ප්‍රථමයෙන් පවත්වනුයේ ජනාධිපතිවරණය ද නැතිනම් මහ මැතිවරණය ද යැයි විමසූ විට එම බොහෝ දෙනකුට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ ‘නෝ කමෙන්ට්ස්’ යැයි කියාය.

මේ අතර ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සුදුසු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ම මේ වන විට විවිධ මාර්ග ඔස්සේ ජනාධිපති වෙත පණිවිඩ යවා ඇති බව ද ඉහත දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

එලෙස මහ මැතිවරණය පැවැත්වුවහොත් සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට කරට කර සටනක් ලබාදී බහුතරය දිනාගෙන පොහොට්ටුව නව ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වනු ඇතැයි එම පණිවුඩ මගින් දන්වා තිබේ.

එසේ වුවහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නව ආණ්ඩුවක් පිහිටුවා පසුව ජනාධිපතිවරණය පැවැත්වීම ඉතා වාසි සහගත බව ද එම පණිවිඩවලින් කියා තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මහ මැතිවරණයක් පැවැත්වීමට නම් අත්සන් 113ක් රැගෙන එන ලෙස දැන්වීමත් සමග ඉහත යෝජනා සහ පණිවිඩ ක්‍රියාත්මක නොවන තත්ත්වයකට පත්ව ඇතැයි ද ඉහත ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *