ආර්ථිකේ වැටුණේ කොවිඩ් කාලේ රට වැසූ නිසායි…! – මහ බැංකු අධිපති…

January 28, 2024 at 10:46 am | by emanisa.lk

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වී ඇතැයි කෙරෙන සියලු ප්‍රකාශ සත්‍යයෙන් තොර බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

රටේ බංකොලොත්භාවය පිළිබඳව විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුව හමුවේ පසුගිය බදාදා සාක්ෂි දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව බංකොලොත් වූ බවට කෙරෙන ප්‍රකාශ තමන් සහමුලින්ම බැහැර කරන වග ඔහු ප්‍රකාශ කර ඇත.

පසුගිය වසරේ සිදුවූයේ රට බංකොලොත් වීමක් නොව, තෝරාගත් දෙස් විදෙස් ණය කිහිපයක් නැවත පියවීම කල් දැමීම පමණක් බව ද හෙතෙම අවධාරණය කරයි.

මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩුව සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව සහමුලින්ම අධ්‍යයනය කළ බවත් එහි බංකොලොත්භාවය පිළිබඳ ප්‍රකාශයක් ඇතුළත් නොවන බවත්ය.

එහෙත් ජනතාව ආර්ථික වශයෙන් අපහසුතාවට පත්කිරීම සම්බන්ධයෙන් එම නඩු තීන්දුවේ දීර්ඝ ලෙස කරුණු දක්වා ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබිණි.

රට ආර්ථික වශයෙන් පීඩාවට පත්වූයේ කොවිඩ් වසංගත සමයේ හදිසියේම රට වසා දැමීම නිසා යැයි පැවසූ මහ බැංකු අධිපතිවරයා තව දුරටත් සඳහන් කළේ සම්පත් සීමිත දුප්පත් රටක් වසා දැමීමට ගත් තීරණයෙන් ජාතික ආදායම විශාල ලෙස අහිමි වී ගිය බවයි. එයින් ජාතික ආර්ථිකය කඩා වැටුණු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *