ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිවැය දරාගැනීමට නම් ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට විසිදෙකකින් ඉහළ දැමීම හැර කිසිදු විකල්පයක් නැතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය පවසයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ ප්‍රකාශ කළේ, ලංවිම, මහජන උපයෝගිතා කොමිසමෙන් කර තිබෙන ඉල්ලීමකට අනුව සියයට විසි දෙකක ප්‍රතිශතයකින් විදුලි ගාස්තු ඉහළ දැමීම හෝ සෑම කාණ්ඩයකම ඒකකයක මිල රුපියල් අටකින් ඉහළ දැමීම කළ යුතු බවය.
විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංවිම කළ ඉල්ලීමෙන් පසුව මණ්ඩලයේ අවසන් මාස තුනේ ආදායම් වාර්තා, කොමිසම වෙත ලබාදී ඇත. ඒ අනුව ජුලි, අගෝස්තු හා සැප්තැම්බර් වන විට ලංවිම ආදායම රුපියල් මිලියන 4573 කින් පහළ බැස ඇත.
මේ වනවිට මහ භාණ්ඩාගාරය මගින් ලංවිමට මුදල් ලබා නොදීම හා බැංකු පද්ධතියෙන් ණය ලබා නොදීම නිසා මණ්ඩලයේ පිරිවැය පියවා ගැනීමට ඇති එකම විකල්පය ගාස්තු ඉහළ දැමීම යැයි ද මණ්ඩලය දැනුම් දී ඇත.