පාස්කු ප්‍රහාරයට මිනීමරු සහරාන් පහසුකම් දුන්නේ යහපාලන ආණ්ඩුවයි…! – ප්‍රසන්න රණතුංග…

September 22, 2023 at 9:23 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය එල්ල වන සමයේ මේ රට පාලනය කළේ යහපාලන ආණ්ඩුව බවත් එහි ඇමැති ධූර දැරූ පිරිස දැන් විපක්ෂයේ සිටින බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයට ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී එකතු වෙමින් ඇමැතිවරයා මේ බව කීය.

“මේ සිදුවීම 2019 අප්‍රේල් මාසයේ සිදු වෙන්නේ. එතකොට 2015 බලයට එන්නේ යහපාලන ආණ්ඩුව. ඒ කාල සීමාවේදී ඒ අයට අවශ්‍ය පහසුකම් දුන්නා කියන්නේ ඔබතුමන්ලමයි. සහරාන්ව ෆෝම් කරලා තියෙන්නේ, අවශ්‍ය පහසුකම් දිලා තියෙන්නේ ඔබතුමන්ලාගේ කාලයේයි. එහෙම කරානම් වැරැදියි. මේක කළේ ත්‍රස්තවාදීන් නම් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. අද අපි කතා කරන මේ දේ නැවත මතු වුණේ චැනල් ෆෝ නාළිකාවේ කාරණාවත් එක්ක.

චැනල් ෆෝ නාළිකාවේ විකාශය වූ වැඩසටහන ඇත්තටම ද පාස්කු ප්‍රහාරය ගැනද ඉලක්ක කළේ. මා විශ්වාස කරනවා ඒක නෑ කියලා. මේ සම්පූර්ණ වැඩසටහනින් පහෙන් එකයි පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්නේ. පහෙන් හතරක් කතා කරන්නේ යුද්දේ ගැනයි. මේ සිද්ධිය වෙනකොට මේ රටේ ආණ්ඩුව කළේ යහපාලන ආණ්ඩුවයි. මෙතැන ඉන්න බොහෝ දෙනෙක් ඇමතිවරු ඒ ආණ්ඩුවේ. ඒ කාලේ පරීක්ෂණයක් කළා. ජනාධිපති කොමිසම් පත් කළා. අපි හිටියේ විපක්ෂයේ. ඒ අය අද කතා කරන්නේ සුදොනෝ වගේ.

ඒකට දේශපාලනය ගාව ගන්න හොඳ නෑ. දේශපාලනය අල්ලගෙන විපක්ෂය උත්සාහ කරනවා මේක රාජපක්ෂලාගේ එකක්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේක ආරක්ෂා කරන්න හදනවා කියලා මතයක් හදන්න හදනවා. ඒ පැත්තට මේක තල්ලු කරන්න එපා. බුද්ධි අංශය, හමුදාව, පොලිසිය විවේචනය කරල ඒ අය තුළ විශ්වාසයක් නැති කරගත්තොත් ඒක රටේ ජාතික ආරක්ෂාවට බලපානවා. ඒවට සම්බන්ධ පුද්ගලයන් ඉන්නවා නම් ඒ අයගෙ නම් කියමු. පාස්කු ප්‍රහාරය එල්ල කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගේන්නලු.

ඒ වගේම මෙතන කතා වුණා සොනික් සොනික් ගැන. මම මේව ගැන දන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් පත්කළේ ඔබතුමන්ලගේ කාලයේදියි. අපි ඒ කොමිසමේ නිලධාරීන් කවුරුවත් වෙනස් කළේ නැහැ. හතළිස් දෙනෙකුට විතර නඩු දාල තියෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය ගැන එෆ්.බී.අයි. එකත් මේ ගැන පරීක්ෂණයක් කළා. ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශවලින් පරීක්ෂණ කළා. ඒව වැඩක් නැත්නම් ඔබතුමන්ල කණ්ඩායමක් නම් කරන්න මේ ගැන පරීක්ෂණ කරන්න. එතකොට ඉවරයි. අපි මේව හංගන්න කටයුතු කරන්නේ නැහැ. මෙයාලට රාජපක්ෂ මහත්තුරු ගැන පුදුම භීතිකාවක් තියෙන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස