අගෝස්තු 18 වැනිදා කුරුන්දි විහාර භූමියේ කෝවිලක් ස්ථාපිත කිරීමට පැමිණෙන බවට දෙමළ දේශපාලනඥයන්ට ප්‍රකාශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන ලද්දේ ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
“මීට වසර 2,200කට පෙර ඉදි කරපු කුරුන්දි සෑය හින්දු කෝවිලක් කියලා දෙමළ දේශපාළුවන් කියන්නේ. අගෝස්තු 18 දා හින්දු කෝවිලක් එතැන ස්ථාපිත කරන්න තමන් පැමිණෙන බවට දෙමළ දේශපාලකයින් දැනටමත් ප්‍රකාශ කරලා තිබෙනවා.
සෙල් ලිපි, පුරාවස්තු සහ ඓතිහාසික ග්‍රන්ථ මගින් බෞද්ධ විහාරයක් බව සනාථ කර ඇති මේ ස්ථානය හින්දු කෝවිලක් කරන්න දෙමළ බෙදුම්වාදින් කටයුතු කරන්නේ ඊනියා දෙමළ නිජබිම හරි මැද දැවැන්ත සිංහල ශිෂ්ටාචාරයක් මතු වීමෙන් නිජබිම් සංකල්පය නිරුවත් වුණු නිසා.
මේ ඓතිහාසික පුදබිමේ ආරක්ෂාවට බෞද්ධයින් අගෝස්තු 18 කුරුන්දි විහාරය වටා රොක් වෙනවා.
අවසානයේ දී මෙතැන බෞද්ධ – හින්දු ගැටුමක් ඇතිවීම වැළැක්වීමට දෙමළ අන්තවාදින්ව නැවැත්වීමට කටයුතු කරන මෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.”