ජනාධිපති රනිල් වික්‍රමසිංහ 13 වන සංශෝධනය පිළිබඳ සිය යෝජනා පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
එසේ නොකොට පාර්ලිමේන්තුවෙන් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමේ කිසිදු පදනමක් නැතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.
මුජිබර් රහුමාන් පවසන්නේ 13 වන සංශෝධනය බලාත්මක කරන ලෙස කිසිවෙකු ඉල්ලා නොසිටි බවයි.
විපක්ෂයේ මතය විමසීමට පෙර ජනාධිපතිවරයා තමන් සමග ආණ්ඩු කරන අයගෙන් 13 වන සංශෝධනය පිළිබඳ මතය විමසා සිටිය යුතු බවත් ප්‍රකාශ කළ මුජිබර් රහුමාන් පළාත් සභාවලට බලය ලබා දීමට රාජපක්ෂලා එකඟ වේ දැයි ප්‍රශ්න කර සිටියේ ය.
සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.