ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට ලබාදීම පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර ජනාධිපතිවරුන් 7 දෙනකු විසින් පළාත් සභාවලට එම බලතල ලබා නොදුන්නේ ඇයි දැයි යන කාරණය පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.
සිය පක්ෂයේ ස්ථාවරය ලිඛිතව ඉදිරි දින කිහිපය තුළ දී ජනාධිපතිවරයාට ලබා දීමට කටයුතු කරන බව ද හෙතෙම ප්රකාශ කරයි.
උතුරු සහ නැගෙනහිර යන පළාත් සභා එකාබද්ධ කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත්ම එකඟ නොවන බව ද සාගර කාරියවසම් අවධාරණය කරයි.
පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබා දීම පිළිබඳව සාකච්ජා කරනවා නම් ඊට පෙර එම පළාත් සභාවන් එකාබද්ධ කළ යුතු බවට උතුරේ ඇතැම් දේශපාලන පක්ෂ විසින් කරන ඉල්ලීම අත්හරින බවට එම පක්ෂවලින් ස්ථිර පොරොන්දුවක් ද ලබා ගත යුතු බව ද හෙතෙම කීවේය.