අධ්‍යාපන ආයතන දුර්වල වුණේ දේශපාලන ඇඟිලි ගැසීම් නිසයි..!

July 8, 2023 at 5:25 pm | by emanisa.lk

අවශ්‍ය පුරප්පාඩු පිරවීම සිදු නොකර අනවශ්‍ය තැන්වල දේශපාලන මැදිහත්වීම් මගින් පුද්ගලයින් ඇතුළත් කිරීම මගින් අධ්‍යාපන ආයතන සියල්ල ඉතාමත් දුර්වල කර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

”අපි දන්නවා මේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරිම සහ ගුණාත්මකභාවය දියුණු කිරීම පිළිබඳ ආණ්ඩුව ගොඩක් කතා කරනවා. නමුත් ඒක කරන්න නම්, අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආයතනවලට අවධානය යොදවන එක අතිශයින්ම වැදගත්. මේ අධ්‍යාපන ආයතන නඩත්තුව සහ එම ආයතන ශක්තිමත් කිරීමේ වගකීමෙන් බැහැරවෙමින් අධ්‍යාපන ප්‍රතිපත්ති හදලා තේරුමක් නැහැ.

අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ මේ ආයතන හරහා. මේ ආයතනවල නඩත්තුවත්, මේ ආයතනවල ගුණාත්මක භාවයත් ශක්තිමත් කිරීමට මැදිහත්විය යුතුයි. ආයතන ව්‍යූහ ශක්තිමත් නැත්නම් ප්‍රතිපත්ති නීති හද හද ඉඳලා මේ කිසි වැඩක් වෙන්නේ නැහැ.

මේ ආයතන තුළ මානව සම්පත්, යටිතල පහසුකම්ද විශේෂයෙන් මේ ආයතන තුළ පවතින ආයතන සංස්කෘතිය, දේශපාලනී කරණය නිසත් හරි නායකත්වය නොමැති වීම නිසා කාර්ය මණ්ඩලයටත් ඉතාම අපහසු තත්වයන්ට පත්වෙලා තියෙනවා ඔවුන්ට ක්‍රියාතමක වෙන්න. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න පරිපාලන නිලධාරීන්, මේ ආයතනල ඉන්න සේවක මණ්ඩල, තමන්ගේ වගකීම ඉටු කරන්න පසුබසින ප්‍රධාන හේතුවක් තමයි මේ ආයතනවල තියෙන සංස්කෘතිය.

ඒ ආයතන තුළය විශේෂයෙන්ම දේශපාලන මැදිහත්වීම් තුළින් පත්වීම් ලබා දෙන එකත් අවශ්‍ය පුරප්පාඩු පුරවන්නේ නැතුව අනවශ්‍ය තැන්වලදී දේශපාලන මැදිහත්වීම්වලින් පුද්ගලයන් ඇතුළත් කිරීම තුළින් මේ ආයතන සියල්ලම් ඉතාමත් දුර්වල තැනකට පත්වෙලා තියෙන්නේ.

අධ්‍යාපනයේ ගුණාත්මකභාවයටත්, අධ්‍යාපනය දියුණු කිරීමටත් මැදිහත් වෙනවා නම් ආණ්ඩුව මේ අධ්‍යාපනය ක්‍රියාත්මක කරන ආයතන පිළිබඳ මීටවඩා අවධානය යොද වන්නත් ඕනා. මේ මුදල් වෙන් කිරීම ප්‍රධාන නිර්නායකයක් වෙනවා ඇත්තටම ආණ්ඩුව කොච්චරක් දුරට අධ්‍යාපනය දියුණු කරන්න ප්‍රමුඛතාව දෙනවද නැද්ද කියන එක.”

ඒ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *