ආගමික සංහිඳියාවට තර්ජනයක් වන සියලු ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නව නීති ගෙන එන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක ප්‍රකාශ කරයි.
භාෂණය හෝ ආගමික නිදහසට මුවා වී කිසිදු ආගමකට අපහාස කිරීමට කිසිවකුටත් අයිතියක් නැති බව ඇමැතිවරයා අවධාරණය කළේය.
“ස්ථාවර රටක් යනුවෙන් බොහෝ දෙනා අදහස් කරන්නේ ආර්ථිකය දියුණු තත්ත්වයකට පැමිණීමයි. නමුත් අප දිගටම ආර්ථික වර්ධනය ගැන කතා කර අවසානයේදී බංකොලොත් කියන තැනට පත්වී තිබෙනවා. අපට මහා සංස්කෘතියක් උරුම වී තිබුණා. එම සංස්කෘතියට වටිනාකම් ලබා නොදී රුපියල් ශතවලට එම වටිනාකම් ලබා දීම නිසා අද මේ තිබෙන තත්ත්වයට රට වැටී තිබෙනවා.
මේ වන විට අප, අපට උරුම වූ සංස්කෘතියෙන් සහ ආහාර රටාවන්ගෙන් ඉවත්වීම නිසා රෝගී ජාතියක් බවට පත් වෙමින් සිටිනවා. රුපියල් ශතවලට මුල්තැන දෙන වටපිටාවක් තුළ ජාති වශයෙන් සහ ආගම් වශයෙන් ගැටුම් නිර්මාණය වීම සුලබ දෙයක්. මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය එතැනට වේගයෙන් පැමිණ තිබෙනවා. රුපියල් ශතවලට තිබෙන ප්‍රමුඛතාව නිසා ආගමික නිදහසට මුවා වෙලා අනෙකුත් ආගම් හෙළා දකින්න පවා ඇතැම් ජනතාව පෙළඹෙමින් සිටිනවා.
ආගමික නිදහසට මුවා වෙලා කිසිම ආගමක් පීඩාවට පත් කරන්න, ආගමික සංහිඳියාවට තර්ජනයක් එල්ල කරන්න කිසිම කෙනකුට අයිතියක් නැහැ. ඒ සම්බන්ධව නීතිමය කටයුතු කරන්න අවශ්‍ය නව නීති පද්ධතියක් පැනවීමට අප බලාපොරොත්තු වෙනවා. කිසිම ආගමකට අපහාස කළ නොහැකි ආකාරයට අදාළ නීති පද්ධතියක් සකස් කරනවා වගේම නව පනතක් කෙටුම්පත් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
ඉතිහාසයේ අපට අහිමි වූ සංස්කෘතික මිනිසා කරුණු සීයක් යටතේ නැවත නිර්මාණය කිරීමට අමාත්‍යාංශයක් හැටියට ශක්තිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. මේ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වයත් ලබා ගන්න අප බලාපොරොත්තු වෙනවා. මේ වන විට සියලු ආගමික
සිද්ධස්ථාන, මධ්‍යස්ථාන, ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබෙනවා. ගැටලුකාරී ප්‍රකාශ කළ ජෙරොම් පිළිබඳව නිසි පියවර අරගෙන තිබෙනවා.”
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (05) පැවති ස්ථාවර රටකට සැවොම එක මඟකට ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.