ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකුවලට වෙන පාඩුව බිලියන 97යි…!

July 5, 2023 at 1:05 pm | by emanisa.lk

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණයෙන් මෙරට බැංකු පද්ධතියට බලපෑමක් නැතැයි ආණ්ඩුව පැවසුව ද එමගින් බැංකුවලට සිදුවන පාඩුව රුපියල් බිලියන 97කට වැඩි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

“ණය ප්‍රතිව්‍යුහකරණයෙන් බැංකුවලට බලපෑමක් නෑ කියා ආණ්ඩුව කිව්වත් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සහ සංකල්ප පත්‍රිකා ගැඹුරින් අධ්‍යනය කළ විට ඒක බොරුවක් බව හෙලිදරව් වෙනවා. 2023.06.28 දිනැති දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම නමින් මුදල් ඇමතිවරයා විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ තුන්වන පිටුවේ දක්වා තිබෙන ආකාරයට පිය වීමට තිබෙන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල වටිනාකම ඩොලර් මිලියන 886ක් නැතිනම් රුපියල් බිලියන 272ක්. මහ බැංකුව විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ 29 පිටුව අනුව මේ බැඳුම්කර වල වටිනාකමින් 30%ක් කපා හැරෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 81.6ක ප්‍රාග්ධන කප්පාදුවක් සිදු වෙනවා.

සංවර්ධන බැඳුම්කරවලින් 85%කම අයිතිය තිබෙන්නේ මෙරට බැංකුවලට. ඒ අනුව ප්‍රාග්ධන කප්පාදුවෙන් පමණක් බැංකුවලට සිදුවන අලාභය රුපියල් බිලියන 69ක්. මීට අමතරව බැංකු විසින් රාජ්‍ය ආයතනවලට ලබා දීලා තිබෙන ඩොලර් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 323ක් නැතිනම් රුපියල් බිලියන 92ක්. ඒ ප්‍රමාණයෙනුත් 30%ක් කපා හරිනවා. ඒ කියන්නේ බිලියන 28ක්. බැඳුම්කර සහ ඩොලර් ණය දෙකේම ප්‍රාග්ධන කපා හැරීමෙන් පමණක් බැංකුවලට සිදුවන අලාභය රු බිලියන 97ක්. මීට අමතරව පොලියත් 35%කින් පමණ අඩු කරනවා. එයින් බැංකුවට වන අලාභය අපි ගණන් හදලා නෑ. ඒ කියන්නේ දේශීය ණය ප්‍රශස්තකරණය හරහා බැංකුවලට සිදුවන අලාභය රුපියල් බිලියන 97කට වැඩියි.”

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *