2048 දියුණු රටක් හදන්න වැඩ කරනවා…! කොටස් වෙළඳපොළ වැටුණොත් වහනවා..! – ජනපති…

April 27, 2023 at 8:44 am | by emanisa.lk

රටේ අර්බුදයට උත්තරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නම් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයි.එම්.එෆ්. ගිවිසුම අනුමත කිරීම හැර විකල්පයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

“මූල්‍ය අරමුදලින් ගිවිසුම හැර වෙන විකල්පයක් අපට නැහැ. කිසිවකුත් වෙන එකක් යෝජනා කරලත් නැහැ. ඒ වගේ ම රටේ සහන දිය යුත්තන්ට සහන දෙන්නත් සහන ගන්න සුදුසුකම් නැති අය ඉවත් කළ යුතුයි.

පැරිස් ක්ලබ් හා ඉන්දියාව සමග ඇති කරගත් ගිවිසුම හරහා ඊළඟ වසර හතරේදී මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන තුනක් පමණ අපට ලැබෙනවා. අනෙක් ආයතනවලින් ලැබෙන මුදල්ද සමග අපට ඩොලර් බිලියන හතක් පමණ ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

2022 ජූලි මාසයේදී මේ රටේ තිබුණේ කෝලාහල, ගිනි තැබීම්, රජය බංකොලොත් වුණා. ඒ නිසා ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ තිබූ විශ්වාසය සම්පූර්ණයෙන් ම නැති වුණා. ඉන් මාස හතකට පසු ආර්ථිකය නැවත හැරවීමෙන් ලංකාවට සාර්ථකතාවක් ලැබී තිබෙනවා.

අහිමි වූ ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීර්ණ වී යළි බිහිවෙමින් තිබෙනවා. එය ඉදිරියට ගෙනයන්න මුළු රටේම සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

2019 අග භාගයේදී බදු කපා හැරීමෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%ක් අපට නැතිවුණා. ඊට පසුව කොරෝනා වසංගතය නිසා ලංකා ආර්ථිකය තවත් පිරිහුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2022 පෙබරවාරි සිට මාස තුනක් ඇතුළත 40%කින් පිරිහී ගියා. ඉන් අනතුරුව රුපියල දිගින් දිගට ම පිරිහී ගියා.

එමෙන් ම, 2022 වසර පුරා ම ආර්ථික වර්ධනය 7.8කින් හැකිළී ගියා. 2022 සැප්තැම්බරයේදී උද්ධමනය සියයට 70ක් ඉක්මවූ අතර ආහාර උද්ධමනය සියයට 95ක් තරම් ඉහළට ගියා.

මේ පසුබිම යටතේ ජූලි මාසයේ ජනාධිපති තනතුර භාරගත්තේ ජනතාව දුක්විඳින බලාපොරොත්තු කඩ වූ අවස්ථාවක රට යළිත් ගොඩගන්න හැකිවනු ඇතැයි මා විශ්වාස කළ නිසයි. උද්ඝෝෂණ විරෝධතා මැද මා ඒ වගකීම භාර ගත්තා. එසේ නැතිනම් රට සම්පූර්ණ විනාශයකට පත් වෙනවා. මගේ ගෙදර පුස්තකාලයේ චිත්‍ර විනාශ වී ගිනිබත් වුණාට මම ඊට පසුබට වුණේ නැහැ. රට විනාශ වන්නට නොදී ගොඩ ගන්නට අප ක්‍රියා කළා.

ඒ කාලය වන විට ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය අමෙරිකා ඩොලර් බිලියන 83.6යි. එහි විදේශ ණය ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 41.5යි. දේශීය ණය ප්‍රමාණය අමෙරිකා ඩොලර් බිලියන 42යි.

ද්විපාර්ශ්වික හා පෞද්ගලික ණය ආපසු නොගෙවීම නිසා 2022 වසරේ අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා නොගෙවූ හිඟ ණය ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 2.7ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. විදේශ විනිමය හිඟය උග්‍ර අතට හැරීම නිසා 2022 මැද භාගය වන විට ශ්‍රී ලංකාවට විදේශවලින් භාණ්ඩ හා සේවා ගෙන්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා.

2022 මැයි මාසයේදී විදේශ ණයවලට අදාළ පොලිය ගෙවීමට අසමත් වුණා. මෙවැනි තත්ත්වයක් අපට සිදුවුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.

ආණ්ඩුව එදා භාරගත්ත වෙලාවේ මට තිබුණේ අයි.එම්.එෆ්, ලෝක බැංකු, ඒ.ඩී.බී බැංකු සමග සාකච්ඡා ආරම්භ කොට සැප්තැම්බර් මාසයේදී විස්තීරණ ණය පහසුකම් පිළිබඳව අයි.එම්.එෆ් සංවිධානය සමග එකඟතාවකට ආවා.

ඒ විස්තීරණ ණය පහසුකමට ප්‍රධාන ප්‍රතිසංස්කරණ හයක් ඇතුළත් ඇතුළත්ව තිබෙනවා. ආදායම් පාදක රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම පළමු කාරණයයි. ඊට අදාළ ආයතනික ප්‍රතිසංස්කරණ සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම හා රාජ්‍ය අංශයේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කිරීම ද අයත් වෙනවා.

ඊළඟ කාරණය රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. මූල්‍ය ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීමත්, නම්‍යශීලී විදේශ විනිමය අනුපාත ක්‍රමයත් යටතේ විදේශ සංචිත ගොඩනැඟීම තහවුරු වන ආකාරයට බහුවිධ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම ද සඳහන්ව තිබෙනවා.

මූල්‍ය අංශයෙහි ස්ථාවරත්වය තහවුරු වන ආකාරයට ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත් දූෂණ පාලනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම පිළිබඳව සඳහන්ව තිබෙනවා. අමාත්‍යවරයා ඒ පිළිබඳ කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කරාවි.

එමෙන් ම, ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. විදේශ ණය හිමියන්ගේ මූල්‍ය කරණ සහතිකය ලබාගත්තේ මේ ආකාරයටයි. අපට මූල්‍යකරණ සහතිකය ලැබුණේ මේ පියවර ගත් නිසයි. Paris Club සහ ඉන්දියාව එය අපට ලබා දුන්නා. ඉන්දියාව මුලින් ම ඒ බව අපට ප්‍රකාශ කළා. ඊට ස්තුතිවන්ත වෙනවා. චීනය වෙනම ක්‍රියා කරන්නට බලාපොරොත්තු වෙනවා.

පැරිස් ක්ලබ් සහ ඉන්දියාව සමග අප සාකච්ඡා කරනවා. මේ සාකච්ඡාවලින් අනතුරුව පෞද්ගලික ණයකරුවන් සමග සාකච්ඡා කරනවා. මේ ගිවිසුම නිසා ඊළඟ වසර හතරේදී මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන තුනක් පමණ අපට ලැබෙනවා. අනෙක් ආයතනවලින් ලැබෙන මුදල්ද සමග අපට බිලියන හතක් පමණ ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

මෙහි ප්‍රතිඵල දැනට ම පෙනෙන්නට පටන්ගෙන තිබෙනවා. විදේශ බැංකු සහ මූල්‍ය ආයතනවල විශ්වාසය නැවත ලබාගෙන තිබෙනවා. දැනටමත් ආර්ථිකය ස්ථාවර බව ඇතිවෙමින් තිබෙනවා. සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් ලැබෙනවා. ආයෝජකයන් ලංකාව දෙස බලනවා. 16 වතාවක් අයි.එම්.එෆ් ගිවිසුම්වලට එළැඹුණත් අප සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුණේ නැහැ. 17 වන වතාවේදී ස්ථාවර පදනමක් එනවිට අපගේ දීර්ඝකාලීන දුර්වලකම් නැතිකර අලුත් වැඩසටහනකට යන්න තිබෙනවා. ඊට කරුණු කීපයක් තිබෙනවා.

පළමුවැන්න ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අපට තිබෙන සාකච්ඡාවයි. ද්විපාර්ශ්වික රටවල් සමගත් පෞද්ගලික ණයකරුවන් සමඟත් සාකච්ඡා කරනවා.

මේ ණය ප්‍රතිව්‍යුගත කරන්න අපට අවශ්‍යයි. රටට අවශ්‍ය සේවයන් සඳහා මුදල් ලබා ගැනීම අපේ අරමුණයි. පළමුවෙන්ම අපට තිබෙන්නේ විදේශ ණයකරුවන් සමග සාකච්ඡා කිරීමයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධවත් කතා කරන ලෙස ඒ අය අපට පවසා තිබෙනවා.

අපට කොන්දේසි දමා සාකච්ඡාවට යන්න බැහැ. මේ සාකච්ඡාවලදී හැම අංශයක් දෙසම අප බැලිය යුතුයි. කිසිවකුටත් මෙයින් හානියක් වන්නේ නැහැ. ඊට මුහුණ දෙන්න නොහැකි යැයි සමහර බැංකු කියනවා. එහෙනම් තමන් භාර අරගෙන ආර්ථිකය ගෙනයන්නැයි මා කියනවා. එක එක අයට තුවක්කුවක් ඔළුවට තබා මේක කළොත් මේක කඩා වැටෙනවා කියන්න බැහැ. කොටස් වෙළෙඳපොළ කඩාවැටෙන බව කියනවා. කඩා වැටුණොත් මම ඒක වහන්නම්. මේක හැදිලා එනකොට ඒ කොන්දේසි මේ කොන්දේසි කියා කියන්න බැහැ. අපි මෙහි තීරණය කර කළ යුතු දේ කියන්නම්.

අර්ථසාධක අරමුදල ගැන ප්‍රශ්නයක් අසා තිබුණා. අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට කිසිම හානියක් වන්නට ඉඩ තියන්නේ නැහැ. එම අරමුදල ආරම්භ කළෙත් අපයි. දරිද්‍රතාවයෙන් පෙළෙන අය සම්බන්ධයෙන් බලන්නැයි ලෝක බැංකුව පවසා තිබෙනවා. දිය යුත්තන්ට සහන දිය යුතු අතර සුදුසුකම් නැති අය ඉවත් කළ යුතුව තිබෙනවා.

අප අලුත් ආරක්ෂක ජාලාවක් ඇති කළ යුතුව තිබෙනවා. මූල්‍ය ස්ථාවර බවක් ඇති කරන අතරම අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කරන්න අවශ්‍යයි.

අපට ස්ථාවර බවක් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. 2019 වසරේ නාමික දළ දේශීය නිෂ්පාදනය එක්සත් ජනපද ඩොලර් බිලියන 89ක් පමණ වුණා. යළිත් 2019 පැවැති ප්‍රමාණයට දළ දේශීය නිෂ්පාදනය ළඟාවනුයේ 2028දී ය. ඒ 3%ක වර්ධන වේගය සමඟයි. අප 3%ක වර්ධන වේගය සිටියහොත් ශ්‍රී ලංකාවට අවුරුදු 9ක ජාතික ආදායම අහිමි වෙන්න පුළුවන්.

2023 දී ශ්‍රී ලංකා ආර්ථිකය 3%කින් පමණ පහළ යාමට නියමිත බව දක්වා තිබෙනවා. ආර්ථිකය ධනාත්මක දිශාවට තහවුරු වීම අපේක්ෂා කළ හැක්කේ 2023 අග කාර්තුවේදී ය.

2019 සිට අඩු තරමින් 3%කින් හෝ 4%කින් වර්ධනය වසර නවයක් පැවැතියේ නම් අපගේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 110 කි. වර්ධන වේගය සියයට 5කට ගියහොත් එම ප්‍රමාණය ඩොලර් බිලියන 130ක් බවට පත්වෙනවා.

පළමු අවුරුදු දෙක තුනේදී සියයට තුනක හතරක වර්ධන වේගයකට යන්නට වේවි. ඊට පසුව 6%ක 7%ක වර්ධන වේගයකට යාමට තිබෙනවා. ඒ වර්ධන වේගය ලබාගැනීම සඳහා දෙපැත්තේ ම අය එකඟ වෙන්නැයි මා කියනවා. සියලු නීති ප්‍රතිව්‍යුහගත කරන්නේ ඒ ආර්ථික වර්ධන වේගය ලබා ගන්නයි.

අපට සමහර නීති ඉවත් කරන්නට තිබෙනවා. සංස්ථා විකුණන්නේ ඇයිදැයි අපෙන් අහනවා. පෞද්ගලික අංශයෙන් මීට වඩා හොඳට කියාත්මක කරන්න පුළුවන් නම් ඒ අයට ඒවා භාර දෙනවා. වසර විසි පහක් තිහක් ඇතුළත අප විවිධ සීමා පැනෙව්වා. අප ආර්ථිකය දෙස බලා තිබෙන සීමා කුමක්ද? ඉවත් කරන සීමා කුමක් ද? කියා තීරණය කළ යුතුයි.

ඉතා තරගකාරී සමාජ සාධාරණය ඇති වෙළෙඳ ව්‍යාපාර අපට අවශ්‍යයි. එමෙන්ම හරිත ආර්ථිකයක් අපට අවශ්‍යයි. ඩිජිටල්කරණ ආර්ථිකයක් අවශ්‍යයි. අප කටයුතු කරන්නේ මේවා ඇති කරන්නයි. මේ සඳහා විවිධ ක්‍රියාකාරකම් තිබෙනවා. කෘෂිකර්මය නවීකරණය කරන්නට තිබෙනවා. කර්මාන්ත ගේන්න තිබෙනවා. ඒ පිළිබඳව වෙනම කතාවක් කරන්නම්.

මූල්‍ය අරමුදලින් ගිවිසුම හැර වෙන විකල්පයක් අපට නැහැ. කිසිවකුත් වෙන එකක් යෝජනා කරලත් නැහැ. වෙනම ක්‍රියාකාරී විකල්පයක් නැතිනම් අපට තිබෙන්නේ මේ ගිවිසුම අනුමත කිරීමයි. සජබෙ මන්ත්‍රීවරුන්ටත් එය කියන්න මා කැමැතියි. ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ සිටි සමයේ පටන් හැම වෙලේ ම කිව්වේ අයි.එම්.එෆ් සමග එකතුවෙලා වැඩ කරන්න කියලා.

දැන් වැඩසටහනක් පැමිණ තිබෙනවා. දෙපැත්තම පිළිගැනීමට සූදානම් තැනක තිබෙන්නේ. එසේ නම් අප සියලු දෙනා එකතු වී මෙය සම්මත කරමු. මාස හයෙන් හයට අයි.එම්.එෆ්. කණ්ඩායම එන නිසා මෙහි අඩුපාඩුකම් තිබේ නම් සාකච්ඡා කරන්න පුළුවන්.

සමහර වෘත්තීය සමිති තමන්ගේ බදු ගැන ප්‍රශ්න ඇති කරලා තිබෙනවා. සියල්ල සාකච්ඡා කොට මාස හයෙන් හයට ඒ ප්‍රශ්න විසඳමු. ඊට පසුව අප සියලු දෙනා එකතු වී එක ජාතික ප්‍රතිපත්ති රාමුවක් හදමු.

2048 දක්වා මේ රටේ තිබෙන ජාතික ප්‍රතිපත්ති රාමුව කුමක්ද? ඒ වගේ ම අපි ආණ්ඩුවෙන් කෙටුම්පතක් ඉදිරිපත් කරනවා නම් ඒ පිළිබඳ සාකච්ඡා කරමු. ජාතික සභාවක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ වෙනත් කාරක සභාවන් තිබෙනවා. එසේ නම් ඒ වැඩකටයුත්ත කිරීම සඳහා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත්වෙමු. අනෙක් ප්‍රශ්න ගැන විවිධ මත තිබෙන්න පුළුවන්. මේ ප්‍රශ්නයේදී සියලුදෙනා එකතු වී සහයෝගය දෙන්නැයි මා ඉල්ලා සිටිනවා.

අපට දැන් තිබෙන්නේ 2048 වෙනුවෙන් රට හදන්නයි. අප මෙය නොකළොත් තරුණයන්ගේ අනාගතය පාවාදීමක්. ඒ අයගේ අනාගතය නැති කිරීමක්. ඒ අය ගැන හිතන්න. බලයේ කේන්ද්‍රය ගැන පමණක් හිතන්න එපා.

මේ වැඩකටයුත්ත නොකළොත් අප කිසිවෙකුටත් තව වසර දෙක තුනකින් ඉන්නට බැරි වේවි. ඒ නිසා අප සියලු දෙනාම එකතු වී මෙය අනුමත කරන්න. ඊට පසුව අප එකට එකතු වී 2048 දක්වා තිබෙන ප්‍රතිපත්ති මාලාව සකස් කොට පළමු වසර පහේ වැඩසටහන ක්‍රියාත්මක කරමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස