එක්ස්ප්‍රස් නැවෙන් අල්ලස් ගත් පුද්ගලයා මෙන්න…! නාලක ගොඩහේවාගේ නමත් පැටලෙයි…!

April 25, 2023 at 6:27 pm | by emanisa.lk

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා චාමර ගුණසේකර නම් පුද්ගලයකු ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලස් ගන්නා ලදැයි තොරතුරක් ලැබී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

තමාට ලැබුණු ඒ තොරතුරෙහි චාමර ගුණසේකර නට්වෙස්ට් කෝට් 50000 ගිණුම් අංක 154793334 iban number GB 53nwbk 50000015479234Bicnwbkb 2L ඇමරිකානු ඩොලර් මිලියන 250 යනුවෙන් සඳහන් වන බවද ඔහු කීවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන් මේ පිළිබඳව ඉදිරියේදී තොරතුරු හෙළි කරනු ඇති බවත් අමාත්‍යවරයා කීවේය.

විජයදාස රාජපක්ෂ මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඒ නෞකාවෙන් වන්දි ගැනීමේ ක්‍රියාවලියට විවිධ බාධා ඇති වුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටතට ගෙන නොයන්නයි නීතිපතිවරයා උපදෙස්දී තිබියදී එය මුදා හැර තිබූ බව පවසන විජයදාස රාජපක්ෂ, නැව මුදා මුදා හැරීමට නියෝගය ලබාදී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ජයන්ත කොළඹගේ බවද සඳහන් කළේය.

මෙම කාරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම්වත්ව සිදුවූ දෙයක් නොවන බවත් මෙම ඉල්ලීම කළ පුද්ගලයා ලෙස බොහෝ පාර්ශ්ව සඳහන් කළේ නාලක ගොඩහේවා බවත් විජයදාස රාජපක්ෂ කීවේය.

මැරිච්ච කැස්බෑවුන් ගොඩ ගහන්නේ මේ නැවෙන් වුණු හානිය නිසා නොව මෝසම් කාලයට කොහොමත් කැස්බෑවුන් ගොඩ ගහන්නේ යයි නාලක ගොඩහේවා මහතා රූපවාහිනියට කළ ප්‍රකාශයක් තමා කලකට පෙර දුටු බව පැවසූ අමාත්‍යවරයා මේ නිසා මේ ගැන ලොකු ගැටලුවක් තිබෙන බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර මේ ගැන සොයා බැලිය යුතු බවත් මෙහි වගකීම කවුරුන් හෝ බාර ගත යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස