ප්‍රතිත්‍රස්ත පනත ගෙන එනු ලබන්නේ කිසිවකු මර්දනයට නොව රටේ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.
“ආණ්ඩුවට ලොකු බයක් තිබෙනවා මේ රටේ ජන ජීවිතය 1971-72 හා 88-89 වගේම ප්‍රභාකරන්ගේ කාලයේ මෙන් යළිත් ජීවිත ලක්ෂ ගණනින් විනාශ වෙලා රට අවුල් වෙයි කියලා. ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න තමයි ප්‍රතිත්‍රස්ත පනත ගේන්නේ. මේ තුළින් බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ නිදහස තවත් තහවුරු කරන්නයි. මේ තුළ ජනතාවගේ අයිතිවාසිකම් අහිමි වෙන ආකාරයේ එක වගන්තියක් තිබෙනවා නම් පෙන්වන්න කියලා මම අභියෝග කරනවා.
ඉන්දියාව, ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් මෙවැනි පනත් ක්‍රියාත්මක කරන්නේ ඒ රටවල ත්‍රස්තවාදය තිබෙන නිසාද? ත්‍රස්තවාදය කියන එක කොයි වෙලාවේ මතුවෙයිද කියලා ශාස්ත්‍රකාරයන්ට තීන්දු කරන්න බැහැ. ත්‍රස්තවාදය කියන්නේ රටේ ජාතික ආරක්ෂාව සහ ජන ජීවිතය විනාශ කරන ක්‍රියාවලියක්. ඒක වළක්වන්න ඕනම ආණ්ඩුවක් සූදානම් වෙලා ඉන්න ඕන. ඒක කරන්න බැරි නම් ඒක ආණ්ඩුවක් නෙවෙයි.
මේකට කවුරු හරි එරෙහි නම් විකල්ප දෙකක් තිබෙනවා. පළමුවැනි එක තමයි දැනට තිබෙන පනත තියාගෙන ඉන්න එක. දෙවැන්න තමයි රටේ ජාතික ආරක්ෂාව විනාශ වීම, ජන ජීවිතය අවුල් වීම, රට ආරාජික වීම ඕන ආකාරයකට සිද්ධ වුණාවේ කියලා පනත අවලංගු කරන එක. එතකොට මුලින්ම ජීවිත අනතුරට ලක්වෙන්නේ මේ පනතට විරුද්ධව කතා කරන අයගේ ජීවිත තමයි කියන කාරණයත් කියන්න ඕන.
රටේ ජනතාවගේ අයිතිවාසිකම් රකින්නේ රාජ්‍ය නොවන සංවිධාන හෝ දේශපාලන පක්ෂ නොව ශ්‍රේෂ්ඨාධිකරණයයි. මේ ඒ පනත මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන පනතක් ද කියලා ඕනෑම කෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් පෙන්වන්න පුළුවන්. කාටහරි උසාවි ගිහින් මේක අභියෝගයට ලක් කරන්න සති දෙකක කාලයක් තිබෙනවා. ඒ සඳහා නීතිඥ සහාය ලබා දෙන්න අපි සූදානම්.
ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලන අරමුණු සපුරා ගැනීමේ ක්‍රමවේද තිබිය දී සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත් කරමින් ජන ජීවිතය අඩාල කරන්න ඉඩදෙන්න බැහැ. උද්ඝෝෂණ ක්‍රියාවලිය තුළ මිනිස් ජීවිත නැති වුණොත් කවුද වගකීම ගන්නේ. මේ සඳහා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීති තිබෙනවා. මේ පනත නැතුවත් යම් කොටු කිරීමක් කරලා තියෙන්නේ. ත්‍රස්තවාදී අරමුණින් කටයුතු කරනවා නම් තමයි පනත අදාළ වෙන්නේ.
දැනුත් වෛරී සහගත ප්‍රකාශ කරනවා නම්, ආගමකට අපහාස කරනවා නම්, ජන කොට්ඨාසවලට රිද්දවනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අවශ්‍ය වගන්ති දණ්ඩ නීති සංග්‍රහයේ තිබෙනවා. ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදෙන්න බලාපොරොත්තුවක් නැතිනම් මොකටද මේ පනතට බය වෙන්නේ. මේ පනත ගෙන එනවාට බය ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදෙන්න අනාගතයේ දී බලාපොරොත්තු වන අයයි.”