ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කර ඇත.
මෙම මස අවසාන වන විට සමාගම් තුන සමඟ ගිවිසුම් ගත වීමට නියමිත අතර ගිවිසුම්ගත වූවාට පසුව මසක් තුළ එම සමාගම් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ප්‍රකාශ කරයි.
චීනයේ සිනොපෙක්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ ෂෙල් සමාගම සමඟ එක්ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්.එම් පාර්ක්ස් යන සමාගම්වලට ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීම සඳහා අනුමැතිය හිමිව ඇත.
මෙම සමාගම් තුනට නියමිත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර හිමි වීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ඉල්ලුම අඩු වී රජයේ ඉන්ධන බිල පහළ යා හැකි බව අනුමාන කර තිබේ.
වර්තමානයේ රජය සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක මුදලක් මසකට ඉන්ධන වෙනුවෙන් වැය කරන බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන සමාගම් තුනෙන් එක් එක් සමාගම මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 120 ක ඉන්ධන මෙරටට ගෙන්වනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය බලාපොරොත්තු වන බවත් වාර්තා වෙයි.
මෙම තීරණයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවියට බලපෑමක් එල්ල කරනු ඇති බවත් නමුත් එය පාරිභෝගිකයාට වාසිදායක වනු ඇත. ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට දේශීය බැංකු භාවිතයෙන් එම සමාගම් වැළකී සිටිය යුතු බවත් සමාගම් ලබන ලාභය මෙරටින් පිටතට ගෙන යා හැක්කේ වසරකට පසුව පමණක් බවත් ගිවිසුමේ කොන්දේසිවලට ඇතුළත් වන බව පැවැසෙයි.
ගිවිසුම අවුරුදු 20 ක් සඳහා වන බවත් එම කාලය තුළ ගිවිසුම අලුත් කිරීමේ ගාස්තු ලෙස වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් එම සමාගම් ගෙවිය යුතු බවත් සඳහන් වේ.
අවුරුදු 20කට පසුවත් එම සමාගම් වලට සාකච්ඡා මාර්ගයෙන් ඇති කර ගන්නා එකඟතාවයන් මත දිගටම මෙහෙයුම් සිදු කළ හැකි බවද පැවැසෙයි.එම සමාගම් ගබඩා ගාස්තු ලෙස මුදලක් ගෙවනු ඇති බවත් ලීටරයකින් යම්කිසි ප්‍රතිශතයක් රජයට අදායමක් ලෙස ලැබෙනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.