රාජ්‍ය නිලධාරීන්ට රට යද්දි සැප බෑ..! රජයේ මුදලින් ඉකොනොමි ක්ලාස් ටිකට් විතරයි..!

February 23, 2023 at 4:11 pm | by emanisa.lk

රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිත කරනු ලබන අවස්ථාවල දී සියලුම නිලධාරීන් පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත් පමණක් මිල දී ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු හැර අනිකුත් සියලු ම රජයේ නිලධාරීන්ට මෙම තීරණය අදාළ වන බවය.

මීට අදාළව ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුත් චක්‍රලේඛයක් 2023 පෙබරවාරි 22 දිනැතිව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ සියලු ම අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කර තිබේ.

යම් නිලධාරියෙකුට ව්‍යාපාරික පංතියේ (Business Class) ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම්, පිරිමැසුම් පංතියේ ගුවන් ටිකට්පතක් මිල දී ගැනීමට යන මුදල සහ ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමට යන මුදල අතර වෙනස සිය පෞද්ගලික මුදලින් වැයකර ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට හැකියාව ඇති බවද එහි සඳහන්ය.

මෙම චක්‍රලේඛයේ සඳහන් ආකාරයට යම් නිලධාරියෙකුට ඉහත විධිවිධානවලට පරිබාහිරව සුවිශේෂි හේතුවක් මත රජයේ අරමුදල් භාවිත කර ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ පිළිබඳ ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර ජනාධිපති ලේකම්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුය.

වර්තමානයේ රටේ පවතින ආර්ථික හා මූල්‍ය දුෂ්කරතා මත රජයේ අරමුදල් අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා පමණක් ඉතා අරපිරිමැස්මෙන් යුතුව වැය කිරීමට ගෙන ඇති පියවර අනුව ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *