මහින්දානන්ද කියන්නේ බොරු…! ව්‍යාපාරිකයෝ හරියට ම බදු ගෙවනවා…! සංවේදි දත්ත පිටවිම ගැන පරීක්ෂණයක් කරන්න…! – දේශීය ආදායම් සේවා සංගමය…

September 24, 2022 at 7:45 am | by emanisa.lk

මෙරට මහ පරිමාණ ව්‍යාපාරිකයන් හා ආයතන ගණනාවක් බදු පැහැර හැරීම සිදුකර ඇති බවටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකී බදු මුදල් අයකර ගැනීමට අපොහොසත් වී ඇති බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා (31) පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කඩිනමින් අවධානය යොමුකර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු යැයි දේශීය ආදායම් සේවා සංගමය කියා සිටී.

විශේෂයෙන්ම මෙරට මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාර, ඔට්ටු හා සූදු ව්‍යාපාර, ඇඟලුම් ව්‍යාපාර, තේ අපනයන ව්‍යාපාර, මත්පැන් ව්‍යාපාර හා ඉන්ධන බෙදාහැරීමේ ව්‍යාපාර හා සම්බන්ධ එම ව්‍යාපාරවල පිරිවැටුම, ලාභය හා ගෙවූ බදු මුදල් සම්බන්ධයෙන් කරුණු රාශියක් මන්ත්‍රීවරයා හෙළි කළ බව ද දේශීය ආදායම් සංගමයේ සම ලේකම් එච්. ඒ. එල්. උදයසිරි පැවසීය.

ඇතැම් ව්‍යාපාර විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් පැහැර හැරීම සම්බන්ධ තොරතුරු, ඇතැම් ව්‍යාපාර හා පුද්ගලයන්ගේ ආදායම් බදු වාර්තා හා ලිපි ගොනු තමා ළඟ ඇති බවට සිදුකරන ලද ප්‍රකාශ ඉතා බරපතළ බව ද ඔහු කීය.

මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයන් තුළින් රාජ්‍ය බදු ආදායමට බරපතළ හානියක් සිදුවීමට හේතු වී ඇති බදු පැහැර හැරීම් ගණනාවක් සම්බන්ධයෙන් වූ කරුණු රාශියක් හා දේශීය ආදායම් පනතට අනුව රහස්‍යභාවය ආරක්‍ෂා කළ යුතු සංවේදී ව්‍යාපාරික තොරතුරු හා පුද්ගලික තොරතුරු රාශියක් ඔහු සතුව ඇති බව තහවුරු වන බව ද උදයසිරි කියා සිටී.

මහින්දානන්ද සිදුකළ ප්‍රකාශය අසත්‍ය බවත් බදු ආදායම කඩා වැටුණේ 2019 සිදුකළ අත්තනෝමතික බදු අඩු කිරීම නිසා බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *