රාජකීය විදුහල්පති ස්ථාන මාරුව ප්‍රතික්ෂේප කරයි…..! පොහොට්ටු මහ ලේකම් සාගරට තවත් චෝදනාවක්…! විදුහල්පති නඩු මගට…!

February 18, 2021 at 10:16 pm | by emanisa.lk

කොළඹ රාජකීය විදුහල්පති බී. ඒ. අබේරත්න එම තනතුරින් ඉවත් කිරීමට එරෙහිව ජනාධිපති නීතීඥ රොමේෂ් සිල්වා මාර්ගයෙන් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට පියවර ගෙන ඇත.

විදුහල්පතිවරයාගේ පාර්ශ්වයෙන් චෝදනා කරන්නේ මේ පසුපස පොහොට්ටුවේ මහ ලේකම්වරයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වන සාගර කාරියවසම් සිටි බවකි.

විවිධ බලපෑම් මත තමන් සිය තනතුරින් ඉල්ලා අස්වන බවට වූ ලිපියක් ලබා දීමට අබේරත්න පියවර ගෙන තිබිණ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය එම ලිපිය රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණ.

එහෙත් ඉන් දින කිහිපපයකට පසු බී. ඒ. අබේරත්න යළිත් වතාවක් ලිපියක් අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කරමින් තමන් තනතුරින් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව දැනුම් දී තිබූ නමුත් එම ලිපිය අධ්‍යාපන අමාත්‍යංශය මගින් රාජ්‍ය සේවා කොමිසම වෙත යවා නැති බව දැනගන්නට ඇත. ඒ අනුව රාජ්‍ය සේවා කොමිසම මගින් අදාළ ස්ථාන මාරුව ලබා දීමට පියවර ගෙන ඇති බව පැවසේ.

කෙ‌සේ වෙතත් තමන් යොමු කළ දෙවන ලිපිය රාජ්‍ය සේවා කොමිසමට යැවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන නොතිබීම මත රාජකීය විදුහල්පතිවරයා තවදුරටත් සිය තනතුරේ කටයුතු කිරීමට තීරණය කර ඇති බව දැනගන්නට තිබේ.

මෙවන් සිදුවීමක් රාජකීය විදුහලේ සිදුව ඇත්තේ පළමු වතාවට බවත් දැනගන්නට ඇත. මේ වන විට මෙම සිදුවීමට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද මැදිහත් වී ඇති බවක් වාර්තා වේ. ඒ අනුව සාගර කාරියවසම් කැඳවා රාජකීය විදුහල්පති ධූරය සම්බන්ධයෙන් බලපෑම් නොකරන ලෙසට උන්වහන්සේ දැනුම් දීමක් කර ඇති බව ද ආරංචි මාර්ග සදහන් කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස