ශ්‍රීලනිප බිම් මට්ටම හොඳට ම කලකිරිලා! ආණ්ඩුව හැදූ අපට කෘතගුණ සලකන්න! – දයාසිරි

December 17, 2020 at 10:11 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විසින් දිගින් දිගට ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොසලකා කටයුතු කිරීම තුළ සිය බිම්මට්ටමේ දේශපාලන ක්‍රියාකාරිකයින්, ප්‍රාදේශීය සභා නියෝජිතයින් දැඩි කළකිරීමකින් පසුවන බව ශ්‍රීලනිප මහා ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් කියන්නෙ එක ම පාක්ෂිකයො ඉන්න තැනක්. ආණ්ඩුව හදන්න මහන්සි වෙච්ච පක්ෂයක් විදියට ශ්‍රීලනිප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට මීට වඩා ශක්තියක් මේ ආණ්ඩුවෙන් ලබාදිය යුතුයි. ඒ වගේම අපේ ඉන්නවා කොට්ඨාශ සංවිධායකවරුන් 5025ක්. මේ අය සංවර්ධන වැඩපිළිවෙලට එකතු කරගත යුතුයි. ඔවුන්ව පැත්තකට විසි කිරීම තුළ සිදුවෙන්නෙ ඔවුන් වෙනත් තැනකට තල්ලු වෙන එක.

දැන් අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 1064ක් ඉන්නවා. ඔවුන්ව මේ සංවර්ධන ක්‍රියාවලියට එකතු කරගන්න කියලා අපි ආණ්ඩුවේ බලධාරීන්ගෙන් කීප වතාවක් ඉල්ලලා තියෙනවා. ඒ වගේ ම ප්‍රාදේශීය සභාවලට අපේක්ෂකයින් හැටියට ඉදිරිපත් වුණු 5025ක් අපෙ ඉන්නවා, මේ අයව පැත්තකට විසි කරලා වැඩකරන්න බෑ. මොකද මේ අය තමයි ගිය ජනාධිපතිවරණයේ දී මහා මැතිවරණයේදී මේ ආණ්ඩුව ගේන්න විශාල කැපවීමක් කරපු අය. මොකද පක්ෂයක් විදියට අපි නමට බෝඩ් ලෑල්ලකට මේ ආණ්ඩුවත් එක්ක එකතු වුණේ නෑ. ඒ නිසා විශෙෂයෙන්ම අපෙ සංවිධායකවරුන් විශාල කළකිරීමකින් ඉන්නවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විශාල කළකිරීමකින් ඉන්නවා. අපේ අපේක්ෂකයො ඉන්නවා විශාල කළකිරීමකින්.

අපි අතිගරු ජනාධිපතිතුමාගෙනුත් විශේෂයෙන් පොදුජන පෙරමුණේ නායකයින්ගෙනුත් ඉල්ලන්න කැමතියි මේක මේ ශ්‍රීලනිපයේ පල්ලෙහා තට්ටුව අමතක කරලා නම් මේ ආණ්ඩුවට ගමනක් නෑ, නැවත නැවතත් අපි ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා වට ගණනාවක් ඉල්ලුවා එකක්වත් අපට ලැබුණෙ නෑ. පක්ෂයේ අනාගතය ගැන අපට කතා කරගන්න ඕනෙ. බැසිල් රාජපක්ෂ මැතිතුමා එක්ක අපි සාකච්ඡා කළා, නමුත් ඒ සාකච්ඡාවල කිසිම හරයක් නෑ. මොකද ඒ ප්‍රශ්න ටික එහෙම්මම තියෙනවා.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රීලනිපය හැටියට අපි කරපු කැපකිරීම නිවැරදිව තක්සේරු කරන්න කියලයි අපි ආණ්ඩුවේ නායකයින්ගෙන් ඉල්ලන්නෙ. පල්ලෙහා ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට අපේ ඒ ප්‍රාදේශීය සභාවල සභාපතිවරු කිසිදු ආකාරයේ සහයෝගයක් ශක්තියක් දෙන්නෙ නෑ. ඒ ප්‍රාදේශීය සභා අපේක්ෂකයින්ව අතෑරලා නම් මේ වැඩේ කරන්නෙ ශ්‍රීලනිපය විනාශ කිරීමේ වැඩපිළිවෙලක් තමයි ඒක තුළ තියෙන්නෙ.”

දයාසිරි ජයසේකර මේ බව පැවසුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස