දෙවැනි පැරකුම් රජ සමයට පසු කඨින මහෝත්සවයට රාජ්‍ය අනුග්‍රහය! පිංකම ජනපති ප්‍රධානත්වයෙන් ඓතිහාසික සෝමාවති පුදබීමේ!

November 9, 2020 at 10:43 am | by emanisa.lk

රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්විණ.

දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.

කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියූ කපු රෙදි භාවිත කරමින් කඨින චීවරය මසා, පඬු පොවා සාංඝික කිරීම පෙර රජ දවස චාරිත්‍රයයයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් අනුව සංවිධාන කළ කඨින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපතිතුමා සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

බුද්ධ පූජා පෙරහැරට සහ පූජාව පිළිගැන්වීමේ ආගමික වතාවතට සහභාගී වූ ජනාධිපතිතුමා කඨින චීවරය පඬු පෙවීමේ මහා මංගල්‍යයට එක් විය.

දහවල් දානමය පුණ්‍ය කර්මයෙන් අනතුරුව පඬු පෙවූ කඨින චීවරය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පෙරහරින් වැඩම කරවනු ලැබීය. ජනාධිපතිතුමා එය සඟ සතු කොට පූජා කළේ ය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියෝ පුණ්‍යෝත්සවයේ ප්‍රධාන අනුශාසනාව කළ හ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *