75 අවුරුදු සමාජ දේශපාලන තීන්දුවල මල් ඵල ලැබෙයි… ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව කලාපයේ ඉහළම අගයට….

February 1, 2025 at 12:11 pm | by emanisa.lk

ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න අනාවරණය කරයි.

පසුගියදා (30) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ ලංකාවේ ආයු අපේක්ෂාව වැඩි වීමට සමාජ ආර්ථික දියුණුව සහ සෞඛ්‍ය සේවාවේ දියුණුව ඉවහල් වී ඇති බවයි.

“අපේ සමාජ ආර්ථික දියුණුව තමයි ප්‍රධානම දේ, පහුගිය අවුරුදු 75 ඇතුළත වෙච්ච සමාජ ආර්ථික දියුණුව, දේශපාලන තීරණ ගැනීිම්, ප්‍රතිපත්ති ඒවා තමයි ප්‍රධාන ම දේ. සෞඛ්‍ය සේවාව වැඩි දියුණුවීම වගේ ම සෞඛ්‍ය සාක්ෂරතාව ඉහළ යාම ද ආයු අපේක්ෂාව ඉහළ යාමට බලපෑවා.

හාට් ඇටෑක් එකක් හැදුණොතින් මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා දෙවි පිහිට තමයි. දැන් එහෙම නෑ ඉතින් ආපු ගමන්ම ලේ කැටිය දිය කරලා අනිත් පැත්තෙන් ආයේ හැදෙන එක වළක්වන්න බට දාලා ලෙඩා හොඳ කරලා දවස් තුනෙන් ගෙදර යවනවා.

දැන් ඉන්න අයට අවුරුදු 70ක් විතර වෙනකම් සේවය සපයන්න හැකියාව තියෙනවා. ඔස්ට්‍රේලියාවේ එහෙම ඕන තරම් කාලයක් වැඩ කරන්න පුළුවන්. අපි ඒකට හරියන්න අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්න වෙනවා, ඒ අයගෙන් වැඩි කාලයක් රටට සේවය ලබා ගැනීමට.”

කලාපයේ අසල්වැසි රටවල් හා සංසන්දනය කිරීමේදී මෙරට ආයු අපේක්ෂාව ඉහළ අගයක් ගන්නා අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ඉන්දියානු පිරිමියෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 65ක් වන අතර කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 69කි.

බංගලාදේශයේ පිරිමියෙකු ආයු අපේක්ෂාව අවුරුදු 73ක් වන අතර කාන්තාවකගේ ආයු අපේක්ෂාව අවුරුදු 74කි. පකිස්ථානයේ ආයු අපේක්ෂාව පිරිමි අවුරුදු 65ක් සහ ගැහැණු අවුරුදු 66කි. නේපාලයේ පිරිමින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 68ක් වන අතර ගැහැණු අවුරුදු 71කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *