මහින්ද අගමැති කර ගෝඨා ජනපති කිරීම වරදක් නම් ජාතියෙන් සමාව ගන්න සූදානම්….! – ඇමැති විමල්….

February 9, 2021 at 1:29 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂගේ පාලනය 2015 වසරේ අවසන් වීමත් සමඟ නැවත වතාවක් ඔහුව බලයට ගෙන ඒමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමටත් මූලිකත්වය ගත් පිරිසකගෙන් කෙනෙකු වීම වරදක් නම් තමා ජාතියෙන් සමාව ගත යුතු බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

අද (09) මීගමුව අධිකරණයේ දී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ඔහු එ් බව කියා සිටියේ පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් පසුගිය දා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනි.

අමාත්‍යවරයා පසුගිය දා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට පමණක් සීමා කිරීම සුදුසු දෙයක් නොවන බවත් එතුමාට පොදුජන පෙරමුණේ නායකත්වය ලබා දිය යුතු බවත් ය.

මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ එකී ප්‍රකාශයට අදාළව විමල් වීරවංශ ජනතාවගෙන් සමාවගත යුතුව ඇති බවයි.

පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අවධාරණය කර සිටියේ, විමල් වීරවංශ අමාත්‍යවරයාට එවැනි ප්‍රකාශයක් කිරීමට හෝ එවැනි තීන්දු තීරණ ගැනීමට කිසිදු අයිතියක් නොමැති බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පොදුජන පෙරමුණේ ඉහළ තනතුරක සිටිය යුතු යැයි කීමෙන් මහින්ද රාජපක්ෂ නායකත්ව තනතුරේ නොසිටිය යුතු යැයි අදහස් නොවන බව ඇමැති වීරවංශ අවධාරණය කර සිටියේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස