27%කින් පහළ දැමිය හැකි විදුලි බිල 3%කින් පහළට…!

May 19, 2023 at 9:50 am | by emanisa.lk

ඉදිරි මාස හයේ දී අඛණ්ඩව විදුලිබල සැපයුම සඳහා ලංවිමට වැය වන මුදල රුපියල් බිලියන 392 සිට රුපියල් බිලියන 285 දක්වා අඩු වන බවට ලංවිම ගණන් බලා තිබෙන නිසා විදුලි ගාස්තු සියයට විසිහතකින් වහාම පහත හෙළිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

විදුලි වියදම ඒ අනුව රුපියල් බිලියන 107කින් පමණ අඩුවීම නිසා ගාස්තු අඩුකළ යුත්තේ සියයට තුනක ප්‍රතිශතයකින් නොවන බවත් සියයට 27 ක ප්‍රතිශතයකින් බවත් හෙතෙම අවධාරණය කරයි.

විදුලි ගාස්තු පහළ දැමීමට ලංවිම කර තිබෙන යෝජනාව සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසමේ ස්ථාවරත්වය ප්‍රකාශ කිරීම සඳහා ඊයේ (18) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය නිවැරදි දත්ත ඉදිරිපත් කර නැතැයි ද ජනක රත්නායක එහිදී චෝදනා කළේය.

මෙම වසරේ පෙබරවාරි මාසයේදී විදුලි ගාස්තු සියයට හැටහයකින් වැඩිකරනු ලැබුවේ ව්‍යාජ දත්ත මත බව ද ඔහු කියා සිටියේය.

මේ වනවිට විදුලි බිල සියයට විසිහතකින් අඩු කිරීමට හැකියාව තිබියදී නිවැරදි වියදම් දත්ත වසන් කර විදුලි ගාස්තුව සියයට තුනකින් පහත හෙළීමට කොමිසමෙන් අවසර ඉල්ලා තිබෙන බව ද ජනක රත්නායක කීය.

නිවැරදි වියදම් දත්ත කොමිසම වෙත එවන ලෙසට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට මේ වන විටත් දැනුම්දී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාම, විනිමය අනුපාත යහපත්වීම යන කරුණු මත විදුලි ගාස්තු ගණනය කළ යුත්තේ සැබෑ වියදම මත පදනම් කරගෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

මහජනතාව වෙනුවෙන් කටයුතු කරන තමා තනතුරින් පහකර දැමීමට ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට අත්ඔසවන මන්ත්‍රීවරුන් කරන්නේ ඉතිහාසගත වරදක් බව ද ඔහු එහිදී කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස