2015 අපි පරාද වුණේ උතුරු නැඟෙනහිර ඡන්ද නැති නිසා නෙමේ-ගෝඨා

January 19, 2019 at 8:32 pm | by admin

2015 ජනාධිපතිවරණය අවස්ථාවේ මහින්ද රාජපක්ෂ පරාජයට පත් වූයේ උතුරු නැගෙනහිර ඡන්ද නැති නිසා නොව ගම්පහ, කොළඹ, කුරුණෑගල අපේක්ෂිත ඡන්ද ප්‍රමාණය නොලැබුණු නිසා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අරුණ පුවත්පත සමග පැවැත් වූ සාකච්ඡාවක අදාළ කොටස මෙසේය.

ජනාධිපතිවරණයෙන් ජයගන්න ඔබට තියෙන එකම බාධාව හැටියට විශ්ලේෂකයෝ සලකන්නේ උතුරේ ඡන්ද. ජනාධිපතිවරණයකදී ඔබට දිනන්න නම් උතුරු නැගෙනහිර සුළු ජාතික ඡන්ද ලැබෙන්න ඕනෑ. ඔබ හිතනවද එහෙම උතුරේ නැගෙනහිර ඡන්ද ලැබෙයි කියලා?
ඔය ප්‍රකාශයම වැරදියි. අපි 2015 දී පරාද වුණේ උතුරු නැගෙනහිර ඡන්ද නැති නිසා නොවෙයි. ගම්පහ, කොළඹ, කුරුණෑගල කියන දිස්ත්‍රික්කවල අපි බලාපොරොත්තු වුණු ඡන්ද පදනම පිරිහුණ නිසා. 2015 ඡන්ද ප්‍රතිඵල හොඳට නිරීක්ෂණය කළාම ඒ බව පෙනෙනවා.

පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම වැටුණ ඡන්ද දිහා බැලුවහම උතුරේ වැටෙන ඡන්ද ජනාධිපතිවරණයක ප්‍රතිඵල වෙනස් කරන්න තරම් ප්‍රමාණවත් නෑ කියලා පෙනෙනවා. උදාහරණයක් හැටියට යාපනේ කෝපායිවල අපිට 2010 දී වැටුණේ ඡන්ද 4530 යි. 2015 දී 6211 ක් වැටුණා. 2010 දී පොදු අපේක්ෂකයාට 13,151 ක් වැටිලා, 2015 දී 2716 ක් වැටුණා. යාපනේ ජනතාව උපරිම වශයෙන් ඡන්දෙ දුන්නත් ඒ වාගේ ඡන්ද පරතරයක් තමයි තිබුණේ. නමුත් ගම්පහ අපි 2010 දී ඡන්ද හත්ලක්ෂ දහඅටදාහක් ගන්නකොට 2015 දී අපි ගත්තේ හයලක්ෂ හැටහතරදාහයි. එතනම 60,000 ක විතර පරතරයක්. මේ තත්ත්වයයි අපි අධ්‍යයනය කරන්න ඕනෑ. අනෙක 2015 ඡන්දෙදි අති විශාල ජනතාවක් රජයට එරෙහිව ඡන්ද පොළට ගියා. එහෙම ඡන්ද පොළට සියයට හැත්තෑවක්, අසූවක් යන්නේ ආණ්ඩුවක් පන්නන්න ඕනෑ වුණාම. මේ ආණ්ඩුවටත් ඊළඟ ඡන්දෙදි ඒ ඉරණමටම මුහුණ දෙන්න වෙනවා.

ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළත් රට කරගෙන යන්න සුළු ජාතීන්ගේ විශ්වාසය වගේම සහාය ඕනෑ.
ඔව්. පැහැදිලිවම. ඒ බව මේ ආණ්ඩුව තේරුම් ගන්න ඕනෑ. මේ රටේ දෙමළ, මුස්ලිම් ජනතාව මොකටද මේ ආණ්ඩුව විශ්වාස කරන්නේ.

දැන් රට වෙනස්වෙලා. ජනතාව හිතන හැටි වෙනස් වෙලා. තවදුරටත් ජාතිවාදී විදිහට හිතන්න දෙමළ, මුස්ලිම් ජනතාව සූදානම් නෑ. ඒ අයට ඕනෑ තමන්ගේ ප්‍රදේශ දියුණු කර ගන්න. ජීවන මාර්ග වැඩිදියුණු කරගන්න. ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න. දැන් ඒ එකක්වත් ඒ පළාත්වල නෑ. අපි හදපු පාරවල්, දීපු විදුලිය, ආරෝග්‍ය ශාලා, ජලය, නැවත පදිංචි කිරීම විතරයි ඒ මිනිසුන්ට තියෙන්නේ. ඒ ජනතාවගේ ප්‍රදේශවල දියුණුව ඇනහිටලා. ඒ අයට ඕනෑ තමුන්ගේ දියුණුව. ඒක කරන්න පුළුවන් අපිට බව දැන් මේ ජාතීන් දෙකම දන්නවා. එදා තිබුණු සැක සංකා දැන් විශාල වශයෙන් ඒ දෙගොල්ලන් අතරින් ඉවත්වෙලා. ඒ නිසා විපක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙක් ලබන ඡන්ද ප්‍රමාණය මේ සුළු ජාතීන් අතරින් මම ඉල්ලුවත් මටත් ගන්න පුළුවන්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස