බාල ගල් අඟුරු ගනුදෙනුව නිසා රුපියල් කෝටි 767 පාඩුවක් සිදුව තිබෙන බව විදුලිබල මණ්ඩලය පාර්ලිමේන්තුවට පෙන්වා දී තිබුණත් ඊට වඩා විශාල පාඩුවක් එමගින් රටට සිදුව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
ඊයේ (22) පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා මෙසේද කීය.
විදුලිබල මණ්ඩලය විසින් පෙන්වා දී තිබෙන පාඩුව ගණනය කර තිබෙන්නේ බාල ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීමේදී ඇති වන පාඩුව පමණි. බාල ගල් අඟුරු නිසා පරිසරයට සිදුවන හානියට අදාළ පාඩුව, නියමිත ප්‍රමාණයට වඩා අළු පරිසරයට එකතුවීමෙන් සිදුවන පාඩුව, නොරොච්චෝල අවට ප්‍රදේශවලට සිදුවන බලපෑම් හෝ බලාගාරයට අනාගතයේ සිදු විය හැකි බලපෑම් හෝ විදුලි කප්පාදුවකට ගියහොත් ඉන් සිදුවන පාඩුව ගණනය කර නොමැත.
ආන්දෝලනයට තුඩු දී තිබෙන මෙම සිද්ධිය ආණ්ඩුවට කට උත්තර නැති වී තිබෙන බවත් මෙය මෑත ඉතිහාසයේ සිදුවන ලොකු ම වංචාව හා හානිය සිදුකිරීමට නියමිත සිද්ධිය බව ද හෙතෙම පෙන්වා දෙයි.
මේ අනුව දැනට ප්‍රකාශ කරන පාඩුවට වඩා තුන් හතර ගුණයක පාඩුවක් රටට සිදුවන බවත් මේ වන විට ගල් අඟුරු නැව් අටක් මෙරටට ගෙන්වා තිබෙන බවත් ඔහු ප්‍රකාශකරයි.
ඔහු තවදුරටත් සඳහන් කළේ, පළමු වරට ගෙන් වූ බාල ගල් අඟුරු නැව් හතරට වඩා දෙවන අවස්ථාවේදී ගෙන් වූ ගල් අඟුරු නැව් හතර බාල බව තහවුරු වී ඇති බවයි.
ගල් අඟුරු නැව් හතරකට අදාළව සිදු කළ දඩ ගැසීමෙන් පසු පාඩුව රුපියල් බිලියන දෙකක් බවට හෙළිවන බව ත් පළමු දෙවන නැව් පැමිණෙන විට ගල් අඟුරු බාල බවට හෙළිවන බව ත් පක්ෂ නායකවරයා පවසා සිටියේය.
එම අවස්ථාවේදීවත් අදාළ සමාගමෙන් ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු ගෙන්වන ලෙස ඉල්ලීමක් සිදුනොකළ බවත් මේ අනුව පහේ සිට අට දක්වා නැව්වලින් ගෙන් වූ ගල් අඟුරු මුල් අවස්ථා හතරේදී පැමිණි ගල් අඟුරුවලට වඩා ප්‍රමිතියෙන් තොර වූ බවත් ඔහු ප්‍රකාශ කරයි.
09 වන ගල්අඟුරු නැවත ගොඩබාමින් තිබෙන බවත් තවත් නැව් 15 පැමිණීමට නියමිත බවත් බාල ගල් අඟුරු නිසා බලාගාරයට හානි සිදුවුවහොත් බලාගාරය සකස් කර ගැනීමට මාස 06කට වැඩි කාලයක් ගත වන බව හෙතෙම සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධව පූර්ණ විමර්ශනයක් සිදුකර ඊට වගකිව යුතු සියලුනාට දැඩි දඬුවම් ලබා දිය යුතු බව විමල් වීරවංශ අවධාරණය කරයි.