හිටපු බුද්ධි ප්‍රධානියත් සිය දිවි නසාගැනීමේ අවදානමක… නීතීඥවරු JMO වාර්තාව රැගෙන උසාවියේ…!

June 4, 2026 at 11:12 am | by emanisa.lk

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශාදය, පශ්චාත් කම්පන ආතති ආබාධය (PTSD), කාංසාව වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වී තිබෙන බව ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, සුරේෂ් සලේ පරීක්ෂාවට ලක් කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් ගොනුකළ මෝසමක් ඊයේ (03) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී නීතීඥවරයා පැවසුවේ අදාළ අධිකරණ වෛද්‍ය වාර්තාවේ ස්ථාන පහක සුරේෂ් සලේ වධහිංසාවන්ට ලක්ව ඇතැයි දක්වා ඇති බවත් මේ හේතුවෙන් ඔහු අධික ලෙස මානසික පීඩනයට ලක්ව සිටින බවත් ය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු සියදිවි හානිකරගැනීමේ අවදානමකට මුහුණ පා සිටින්නේ යැයි අදාළ වාර්තාවෙන් දැක්වෙන බවත් පැවසූ නීතීඥවරයා රැඳවුම් නියෝග මත සිටින ඔහුව මානසික ප්‍රතිකාර සඳහා සුදුසු පරිසරයක තබන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙය හදිසි කටයුත්තක් සේ සලකා මෝසම අද (04) දින නැවත කැඳවීමට නියම කළ අතර අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *