භාණ්ඩාගාරයේ මුදල් ලබාගත් හැකර්වරුන් අල්ලා ගැනීම සහ අහිමි වූ එම මුදල් නැවත ලබා ගැනීම රජයේ මූලික අරමුණ වී ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.
ආණ්ඩුවේ හිතවතුන්ගේ ගිණුම්වලට එම මුදල් බැර වී ඇති බවටත් රටේ මූල්‍ය ආරක්ෂාව බිඳ වැටී ඇති බවටත් විපක්‍ෂය ගෙනයන ප්‍රචාරය අසත්‍යයක් බවන් හෙතෙම අවධාරණය කරයි.
ඕස්ට්‍රේලියාවේ අපනයන මූල්‍ය ආයතනය වෙත ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් භාණ්ඩාගාරය සහ එම ආයතනය අතර පැවති ඊමේල් පණිවිඩ හුවමාරු පද්ධතිය හැක් කර අදාළ ණය හිමියාට ලැබිය යුතු මුදල් වංචනික ලෙස හැකර්වරුන්ගේ ගිණුම් වෙත ලබාගෙන ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම සිදුවීම පාදක කරගනිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විවිධ පාර්ශ්වයන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් මහ ජනතාව නොමග යැවීමේ උත්සාහයක නිරතව සිටින බවටද නි. ඇමතිවරයා චෝදනා කළේය.
ඉන්දියාවට සිදු කිරීමට ගිය ගෙවීමකදී ද මෙවැනිම උත්සාහයක් ගෙන තිබූ බැවින් ඒ පිළිබඳව සැක මතු වී පරීක්ෂණ කටයුතු කඩිනම් කළ බව හෙතෙම පැවසීය.
ගිණුම් අංකවල වෙනසක් සිදුවන බව දැනගත් වහාම මහා භාණ්ඩාගාරය විසින් මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශයට සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (CERT) දැනුම් දී ඊට අදාල පියවර ගත් බව ඔහු පවසයි.
මෙම සිද්ධිය පිළිබඳව මේ වන විට අංශ කිහිපයකින් පුළු විමර්ශනයක් සිදුකරන අතර භාණ්ඩාගාරයේ අභ්‍යන්තරව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් කරුණු විමර්ශනය කරන බව නියෝජ්‍ය ඇමැතිවරයා අනාවරණය කළේය.
දැනට ආරම්භ කර ඇති මෙම විමර්ශන කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව නි. ඇමති අනිල් ජයන්ත වැඩිදුරටත් පැවසීය.