හාල් ආනයනයට බාලගිරි… උත්සව සමයේ හාල් හිඟයක්…!

November 30, 2024 at 12:10 pm | by emanisa.lk

රජයේ මැදිහත් වීමෙන් ආනයනය කිරීමට සැලසුම් කර ඇති සහල් තොග මෙරටට ලැබෙන විට නත්තල් සමයද පසුවනු ඇතැයි ආහාර ආනයනකරුවෝ පවසති.

ආනයනය කිරීමට තමන්ට අවස්ථාව දෙන්නේ නම් සති දෙකකට අඩු කාලයකදී සහල් තොග මෙරටට ගෙන ආ හැකි බවද ඔවුහු පවසති.

සහල් ආනයනය සඳහා ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට අවස්ථාව දෙන ලෙස රජයෙන් ඉල්ලීම් කර ඇතත් ඊට මෙතෙක් නිසි ප්‍රතිචාරයක් දක්වා නැතැයිද පැවසේ.

මේ හේතුව මත පිටකොටුව ඇතුළු සහල් වෙළෙඳපොළේ උග්‍ර සහල් හිඟයක් පවතින බව ද අනාවරණය වේ. සහල් අර්බුදයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය දුන්නේය.

සතොස සහ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් ජාත්‍යන්තර ලංසු කැඳවා මෙම සහල් ආනයනය කිරීමට කටයුතු යොදා ඇත. කෙසේ නමුත් මෙම සහල් තොගවලට අදාළ සාම්පල මෙරටට ලැබීමට සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි අනාවරණය වේ.

මෙම තත්ත්වය මත ඉන්දියාවෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක තොගය මෙරටට ලැබීමේදී දෙසැම්බර් මස අග වනු ඇතැයි පැවැසේ. මේ නිසා උත්සව සමයේ දී සහල් හිඟය වඩාත් උත්සන්න වීමේ අවදානමක් පවතී. මේ වන විටත් වෙළඳසැල්වලින් නාඩු සහල් ලබා දීම කිලෝ 3කට කිලෝ 5කට සීමා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *