(කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ක. ක. ගනුෂ්ක රන්දුල විසින් සම්පාදිත ලිපියකි.)
පසු ගිය දා මහ හඬ නංවාගෙන ඇරැඹුණු ස වැනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඉංගිරිසි පෙළ පොතෙහි ඇතුළත් වූ කුණුහරුප විබැඳුම් පොළකට (vulgar website) පින් සිදු වන්නට අකුළාගැනීමට රජයට සිදු විය. එසේ වූයේ ජාතියේ වාසනාවෙකිනි. ඉංගිරිසි මතු නො වැ ඉතිහාසය, ගණිතය, විද්‍යාව, සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය ආදි පෙළ පොත් බර ගණනෙක ඇති අඩුපාඩු පිළිබඳ විවරණය කරමින් පේරාදෙණි සරසවියේ සේවාර්ජිත මහාචාර්ය අර්ජුන පරාක්‍රම සූරීන් සමඟ සංවාදයකින් සැකැසුණු අගනා ලිපියෙක් පසු ගිය දා සති අග අරුණේ පළ විණි. ඒ ලිපිය කියැවූ අපට ස වැනි ශ්‍රේණියේ සිංහල පෙළ පොත පිරික්සා බැලීමට සිත් විය. මේ ලිපිය ලියන්නේ ඒ පෙළ පොත බැලීමෙන් පසු උපන් කම්පනයෙන් යුක්ත වැ ය.
නව අධ්‍යාපන ක්‍රමය අනුව පාසල් වාරයකට එක බැගින් වසරකට එක විෂයයක් සඳහා පෙළ පොත් තුනක් සිසුනට ලැබේ. පළමු වාරය සඳහා නියමිත ස වැනි ශ්‍රේණියේ පෙළ පොත් පමණක් දැනට අන්තර්ජාලයෙහි පළ කොට ඇත. පළමු වාරයේ සිංහල පෙළ පොතෙහි පිටු හැත්තෑ දෙකෙකි. මොඩියුල අංක 1, 2, 3 ඇතුළත් වන බව එහි සඳහන් වේ. පළමු වැනි මොඩියුලය ‘සුබස් මිහිර’ යි. සවන් දීම හා කතා කිරීම හා යන කුශලතා වර්ධනය කිරීම එහි අරමුණ ය. එහි පාඩම් හතරක් අන්තර්ගත ය. දෙ වැනි මොඩියුලය ‘සුබස් හුරුව’ යි. එහි අරමුණ කියැවීම හා ලිවීම හා යන කුශලතා වර්ධනය කිරීම ය. එහි පාඩම් තුනක් අන්තර්ගත ය. තුන් වැනි මොඩියුලය ‘සාහිත මිහිර’ යි. පාඩම් තුනක් අන්තර්ගත වන එහි අරමුණ ඉහත කී කුශලතා හතර ම වර්ධනය කිරීම ය. මෙහි චිත්‍ර ශිල්පියා ද විවිධ සහායකයා ද හැරුණු කොට උපදේශක, ලේඛක හා සංස්කාරක මණ්ඩලය දහ අට දෙනකු ගේ කට්ටලයකි.
දැන් අපි සිංහල පෙළ පොතේ මොඩියුලයෙන් මොඩියුලය ගෙන බලමු. පළමු වැනි මොඩියුලයේ අරමුණ සවන් දීම හා කතා කිරීම යන කුශලතා වර්ධනය කිරීම බව ඉහත කියැවිණි. එහි ඇතුළත් පාඩම් වන්නේ සුහද සංවාද, දූරකථන සංවාද, මාතෘකානුකූල කථා, විවිධ මාධ්‍ය යොදාගෙන සිදු කරන ඉදිරි පත් කිරීම් යන පාඩම් හතර යි. මේවා සාමාන්‍ය බුද්ධි වර්ධනයක් ඇති සිසුවකුට ස වැනි ශ්‍රේණියේ දී ඇනැ ඇනැ උගන්වා ලිය යුතු දෑ ද? දෙ වැනි මොඩියුලයේ අරමුණ ලිවීම හා කියැවීම යන කුශලතා වඩා ලීම වුව ද එහි ඇත්තේ සුබ පැතුම් පත් සැකැසීම, ආරාධනා පත්‍ර නිර්මාණය කිරීම, සමානාර්ථවත් පද හඳුනාගැනීම යන පාඩම් ය. සුබ පැතුම් පත්, ඇරියුම් පත් ආදිය සකස් කිරීමෙන් දියුණු වන ලිවීමේ හෝ කියැවීමේ හෝ කුශලතාව කුමක් ද? සමානාර්ථ පද ඥානය නම් කියැවීමට ලිවීමට පිටුබලයක් දෙන බව සැබැවි. එහෙත් මේවා ශිෂ්‍යත්ව විභාගයට ඉගැන්වෙන පාඩම් ය. ‘සාහිත මිහිර’ නම් තුන් වැනි මොඩියුලයෙන් ජන කතාවක්, ළමා පැදි පෙළක්, ළමා ගීයක් යනුවෙන් යන්තම් සාහිත්‍ය ඇබින්දක් තොල ගාන්නට දී ඇත. මුළු පළමු වැනි වාරයට ම සාහිත්‍යයකට ඇත්තේ එපමණෙකි!
පෙළ පොතෙහි කිසි ම තැනෙක සිංහල ව්‍යාකරණ යැ යි කිය හැකි අංශු මාත්‍රයක් වත් ඇතුළත් නො වේ. අවම වසයෙන් සිංහල හෝඩිය වර්ග කැරෙන සැටි වත් දක්වා නැත. ලිවීමේ කුශලතා ද වර්ධනය කරන බවක් කියැවෙන නමුදු ව්‍යාකරණය නො දැන වර්ධනය කැරෙන ලිවීමේ කුශලතාව අරුම පුදුම එකෙකි. සුබ පැතුම් පත් පිළිබඳ පාඩමේ මෙන් ම ඇරියුම් පත් පිළිබඳ පාඩමේ ද ඒවායෙහි තිබිය යුතු යැ යි දැක්වෙන ලක්ෂණ අතුරෙහි “නිවැරදි ව වචන වෙන් කිරීම, විරාම ලක්ෂණ නිවැරැදි ව භාවිතය, නිවැරැදි අක්ෂර වින්‍යාසය භාවිතය” (පි. 32, 36) සඳහන් වන නමුදු ඒ එකක් වත් ඉගැනීමට මේ පෙළ පොතින් මඳ හෝ උදවුවක් නො සැපැයෙයි. මෙතෙක් පැවැති පෙළ පොතේ පළමු වාරයට අක්ෂර මාලාව හා පිලි, නාම පදවල වචන භේදය, ලිංග භේදය, උක්ත අනුක්ත භේදය යන ව්‍යාකරණ පාඩම් ඇතුළත් විය. දැන් ඒ ටික ඉගෙනගැනීම සඳහා සිසුනට සිදු වන්නේ පෞද්ගලික වැ ගුරුවරයකු කරා ගොස් ‘කුමාර රචනය’ පොත වත් ඉගෙනගැනීමට යි. මක් නිසා ද යත් මේ පෙළ පොතේ පාඩම්වල බොහෝ තැන් ලියා ඇත්තේ ද දොඩන බසිනි. නිදසුන් කිහිපයක් බලමු:
“… දුවේ, පුතේ, ඔබ සංවාද අහලා ඇති නේ ද? සංවාදවලට ප්‍රතිචාර දක්වලත් ඇති නේ ද?…” (පි.1)
“…ඔබත් මෙවැනි සුහද සංවාදවලට සහභාගි වී තිබෙනවා ද? මේ එක් එක් සුහද සංවාදවල දී අප ඒ ඒ අයට ඇමතීමට යොදන වචනත් කතාබහ කරන ආකාරයත් එකිනෙකට වෙනස් නේ ද?…” (පි. 3)
“… තොරතුරු අන් අයට ඉදිරි පත් කිරීමේ දී අපට විවිධ මාධ්‍ය යොදාගන්න පුළුවන්. කථනය, ගායනය, නර්තනය, භූමිකා රංගනය, චිත්‍ර, පෝස්ටර්, වීඩියෝ දර්ශන වගේ මාධ්‍ය අපට නිර්මාණශීලී ව භාවිත කරන්න පුළුවන්. එක් මාධ්‍යයක් භාවිත කරනවාට වඩා මාධ්‍ය කිහිපයක් යොදා ගනිමින් ඉදිරි පත් කිරීමක් කරන්න පුළුවන් නම් එය වඩාත් ආකර්ෂණීය වේවි…” (පි. 19)
“… ජීවිතයේ විවිධ අවස්ථාවල දී අපට විවිධ වර්ගයේ ආරාධනා පත්‍ර ලැබෙනවා. ඒවායින් කිහිපයක් පහත දක්වා ඇති ආකාරයට හඳුනාගන්න පුළුවන්…” (පි. 34)
මේ වනාහි පාඩම්වල නොයෙක් කොටස් ලියා ඇති ආකාරය යි. මේ එක් එක් උපුටනයෙහි ඇති වාක්‍යවල ආඛ්‍යාතය පමණක් දොඩන බසින් තබා ඇති බව කාට වුව ද පෙනේ. ආඛ්‍යාතය හැරුණු කොට වාක්‍යවල සෙසු අංග සියල්ල ම පාහේ ඇත්තේ ලියන බසිනි. හැබෑ දොඩන බසින් මේ උපුටන දැක්වුව හොත් මේ උපුටන මීට වඩා බොහෝ වෙනස් වෙයි. පස් වැනි ශ්‍රේණිය වන විට මූලික උක්ත ආඛ්‍යාත සම්බන්ධය ඉගෙන ඒ දැනුම පිරික්සා බැලෙන තරග විභාගයකට ද පෙනී සිටි සිසුනට නැවැතත් තුනේ පංක්තියේ දී මෙන් මෙසේ තොත්ත වහරකින් පොත් ලියා ඇත්තේ ඇයි? මේ ස වැනි ශ්‍රේණියේ සිසුන් ගේ බුද්ධිය බාල්දු කිරීමක් නො වේ ද? මෙවැනි බොහෝ තැන් දොඩන බසින් ලියා තිබිය දී තවත් ඇතැම් මෙවැනි ම තැන් ලියන බසින් ලියා තිබීමේ ප්‍රතිපත්තිය අපට නම් වටහාගත හැකි නො වේ. එක ම ආකාරයේ ඇතැම් පාඩම් දොඩන බසින් උගන්වා තවත් පාඩම් ලියන බසින් ඉගැන්වීමේ අධ්‍යාපන විද්‍යාව වටහාගැන්මට අප ගේ නුවණ මඳ සේ ය.
අදට ඔය ඇති; නැවැත හමු වෙමු.
– ක. ක. ගනුෂ්ක රන්දුල
අරුණ