සාපෙළ ප්‍රතිඵල අඩු නම් විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට පඩි වැඩිවීම් නෑ…!

August 24, 2023 at 9:47 am | by emanisa.lk

මේ වසරේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) ප්‍රතිඵල සියයට අනූවක් දක්වා ගෙන ඒමට අපොහොසත් වන විදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක තාවකාලිකව අත්හිටුවන බවට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස පවසයි.

ඔහු මේ බව එම පළාතේ සියලු ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

සියයට අනූවේ ඉලක්කයට ළඟා වන සියලු විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් වෙත 2023 වර්ෂයේ විශේෂ දීමනාවක් ලබා දෙන බව ද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.

සේවා කාලය තුළ එක් වරක් පමණක් ලබා දෙන මෙම විශේෂ දීමනාව වැටුප් වර්ධක තුනකට ලබාදෙන බවත්, මීට අමතරව එම විදුහල්පතිවරුන් වෙත ප්‍රමුඛත්ව සේවා ප්‍රවේශ පතක් (Service priory access card) ලබාදෙන බවත් හෙතෙම දැනුම් දී තිබේ.

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ සමත් ප්‍රතිශතය සියයට අනූවක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය අත්පත් කර ගන්නා තෙක් වැටුප් වර්ධකය අත්හිටුවීමේ තීරණය ක්‍රියාත්මක වන බව ද එහි දක්වා ඇත.

ශිෂ්‍ය සාධනය ඉහළ නැංවීම සඳහා පාසල් මට්ටමින් කඩිනමින් සැලසුම් සකස් කරන ලෙසටත්, දැනුවත් කිරීම් සිදුකරන ලෙසටත් පළාත් අධ්‍යාපන ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී දින දහයකට වඩා ගත වුව ද ඇතැම් කලාප අධ්‍යක්ෂවරුන් මේ දක්වා විදුහල්පතිවරුන් දැනුවත් කර නොමැති බව ද ඔහු සඳහන් කර තිබේ.

මධ්‍යම පළාතේ පාසල්වල සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රගතිය මේ මස 25 දින හෝ ඊට පෙර තමාට වාර්තා කරන ලෙස ද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එමගින් දැනුම් දී ඇත.

ඒ අනුව කලාපවල ඇති පාසල් අතරින් සමත් ප්‍රතිශතය සියයට අනූවට වඩා අඩු පාසල්වල 2023 වසරේ උසස්පෙළ අසමත්වීමේ අවදානමේ ඇති සිසුන් සුවිශේෂීව හඳුනාගන්නා ලෙස ත්, පෞද්ගලිකව එම පාසල් වෙත ගොස් ගුරුවරුන්, සිසුන් සහ මවුපියන් සමග සාකච්ඡා කර පවතින තත්ත්වය මඟහරවා ගැනීමට උපායමාර්ග සැලසුම් කරන ලෙස ත් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස උපදෙස් ලබා දී තිබේ.

එසේ ම හර විෂයයන් සඳහා පාසලේ ගුරුභවතුන් නොමැතිනම් යාබ ද පාසල්වල ගුරුභවතුන්ගේ සම්පත් දායකත්වය ලබා ගන්නා ලෙසත්, ඒ සඳහා චක්‍රලේඛ ප්‍රකාරව ගෙවීම් කළ හැකි බවත් වැඩි දුරටත් උපදෙස් ලබා දී තිබේ.

මේ අතර, ශිෂ්‍ය සාධන මට්ටම් ඉහළ දැමිය යුතු වුව ද ඒ වෙනුවෙන් විදුහල්පතිවරුන්ට අනිසි බලපෑම් සිදුකිරීම බරපතළ තත්ත්වයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කරයි.

විභාග කේන්ද්‍රීය අධ්‍යපනය තුළ පාසල් දරුවන් මේ වනවිටත් දැඩි පීඩාවන්ට ලක්ව සිටින බව පැවැසූ හෙතෙම මෙම තත්ත්වයෙන් දරුවන් මුදා ගැනීමට පිළියම් යෙදීමට සිටින බලධාරීන් විදුහල්පතිවරුන්ට දඬුවම් නියම කිරීම පිළිබඳව විරෝධය පළකරන බව කීවේ ය.

ඒ අනුව, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදුහල්පතිවරුන්ට දඬුවම් නියම කරමින් යොමුකර ඇති ලිපිය ඉල්ලා අස්කර ගතයුතු බවත්, එසේ නොවන්නේ නම් එම පළාතේ සියලු විදුහල්පතිවරුන් සමඟ එක්ව ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *