ආනයනික බහලුම් නිදහස් කිරීමේ කටයුතු තවමත් දැඩි ප්‍රමාදයක පවතින බවත් එබැවින් ඊයේ (16) පස්වරුව වන විටත් ඔරුගොඩවත්ත රේගු අංගනය අසල දිගු පෝලිම් නිර්මාණය වී තිබූ බව වාර්තා වෙයි.
මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබෙන්නේ පසුගිය 12 වනදා ජනාධිපති අනුර දිසානායක විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මෙන්ම ශ්‍රී ලංකා රේගුව හා වරාය ආශ්‍රිත සේවා සපයන සංගම්වල නියෝජිතයන් කැඳවා මෙම ආනයනික බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් නිකුත්කළ පසුබිමක වීමද විශේෂත්වයකි.
එම සාකච්ඡාවේදී නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා රේගු නිලධාරින් දින 7ම පැය 24ම රාජකාරි කිරීමට සිය එකඟතාව පළ කර තිබිණ. කෙසේ වුවත් රේගු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද දිනය තුළ ප්‍රධාන පර්යන්ත තුළින් බහාලුම් 1615ක් මුදාහැර ඇති බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශනය කර වරායේ ගේට්ටු තුළින් මුදාහළ බහලුම් ප්‍රමාණය 1,337ක් බවත් වාර්තා වෙයි. කෙසේ වෙතත් ගත වූ පැය 24 ඇතුළත වරාය තුළ සිර වූ බහාලුම්වලින් යම් ප්‍රමාණයක් මුදාහැරීමට වරාය රේගුව ඇතුළු අංශ කටයුතු කරමින් තිබුණ ද, පර්යන්තවලින් පිට වූ ප්‍රමාණයට සාපේක්ෂව ගේට්ටුවලින් පිට වී ඇති ප්‍රමාණය අඩු බැවින් බහාලුම් තදබදය තවමත් අඩු වී නැති බව වාර්තා වේ.