සමරිසි පිටු ගලවා හයේ මොඩියුලය දරුවන් අතට දෙන්න තීන්දුයි…!

January 2, 2026 at 12:22 pm | by emanisa.lk

හයවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයේ ඇතුළත් වූ මතභේදාත්මක සහ නුසුදුසු කොටස් ඉවත් කර එම පොත් පාසල් වෙත බෙදා හැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කරන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් මෙම පොත්වල අදාළ කොටස් ඉවත් කිරීමෙන් අනතුරුව ඉදිරියේදී බෙදා හැරීම් කටයුතු සිදු කරන බවයි.

මෙම මොඩියුලයේ පොත් ලක්ෂ තුන හමාරක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටි 6 කට අධික මුදලක් වැය කර ඇති බව වාර්තා වේ. දැනට කොළඹ පිහිටි ගබඩාවල සුරක්ෂිතව ඇති මෙම පොත් කිසිවක් මෙතෙක් පාසල් වෙත මුදාහැර නොමැති බව ලේකම්වරයා තහවුරු කළේය.

නුසුදුසු කොටස් ඉවත් කිරීමෙන් පසු ඉතිරි කොටස බෙදාහරින අතර, ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කිරීමට නියමිතය. අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන් විසින් මෙම මොඩියුලයේ අන්තර්ගතය පිළිබඳව ප්‍රබල චෝදනාවක් මතු කරන ලදී.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ එක් පාඩමකට අදාළ වැඩිදුර විස්තර සෙවීමට උපදෙස් දී ඇති වෙබ් අඩවියක් හරහා සමලිංගික කටයුතු ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කර ඇති බවයි.

මෙම මතභේදාත්මක කොටස් ඇතුළත් කිරීම යම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැක පළ කරන අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුගිය 31 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මීට අමතරව ගුරු සංගම් කිහිපයක් ද මේ පිළිබඳව පැමිණිලි කර ඇති අතර, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *