අපේ රටේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට සමාජයේ ඉහළට යාම සඳහා ඇති ප්‍රමුඛතම අත්වැල නිදහස් අධ්‍යාපනය යැයි කිව හැකිය. ඒ අපේ රටේ පළමු වසරේ සිට විශ්වවිද්‍යාල උපාධිය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දෙන හෙයිනි.
එහෙත් උසස් පෙළ සමත් වන සියලු දෙනාට රජයේ විශ්වවිද්‍යාල නොලැබෙන අතර එම අවස්ථාව ලැබෙන්නේ උසස් පෙළට පෙනී සිටින සිසුන් අතරින් 1%ක් තරම් අඩු ප්‍රතිශතයකට පමණි. ඒ නිසාම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීම සඳහා සිසු දරුවන් අතර තියුණු තරඟයක් පවතියි.
එහෙයින් අදාළ තරඟ විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා පිරිස නිවරදි ලෙස තෝරා අදාළ අවස්ථාව ලබා දීම බලධාරීන් විසින් නොපිරිහෙළා ඉටු කළ යුතු වගකීමකි. රට වෙනුවෙන් මෙම වගකීම ඉතාම නිවැරදි ලෙස සහ කිසිදු අක්‍රමිකතාවකින් තොරව ඉටු කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසට පැවරී තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට පැවරී ඇති වැදගත්ම කාර්ය ලෙස සැලකිය යුතු ඒ සඳහා වෙනම “විශ්වවිද්‍යාල ප්‍රවේශ අංශය” ස්ථාපිත කර ඇති අතර එය එම අංශයේ කාර්ය මණ්ඩලයට හැර බාහිර කිසිවකුට පිවිසිය නොහැකි ලෙස දොරටුවේ ඇඟිලි සලකුණු යන්ත්‍ර පවා සවි කර අධි ආරක්ෂිත කලාපයක් ලෙස දැඩි රැකවල් මැද පවත්වා ගෙන යයි.
එවැනි අතිශය වැදගත් ස්ථානයක නිලධාරීන් කෙතරම් පරික්ෂාකාරී ලෙස අංශු මාත්‍ර හෝ වරදක් අතපසු වීමක් නොවන ආකාරයට සැලකිල්ලෙන් සිය රාජකාරී ඉටු කළ යුතු ද යන්න අලුතින් කිව යුතු නැත. ඒ මෙම අංශය රටේ සුවහසක් සිසු දරුවන්ගේ අනාගතය තීන්දු කරන මර්මස්ථානයක් හෙයිනි.
එහෙත් අවාසනාවට අපට කියන්නට සිදුව ඇත්තේ අතිශය කනගාටුදායක පුවතකි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අංශය ඉතාම වගකීම් විරහිත ලෙස කටයුතු කරමින් ඉතිහාසයේ අතිශය භයානක වරද කළා පමණක් නොව එය නිවැරදි නොකර වසං කිරීමට කළ හැකි සියලු තක්කඩිකම් කරමින් ඉතාම නින්දිත ආකාරයට හැසිරෙන බවය.
වර්තමානයේ සාමාන්‍ය ක්‍රමයට සිසුවකුට විශ්වවිද්‍යාල ලැබෙන්නේ උසස් පෙළ විභාගයේ ලකුණු පදනම් කරගත් Z ලකුණු ප්‍රමාණය අනුවය. එහෙත් විශ්වවිද්‍යාල ඇතැම් පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ දී ඊට අමතරව අභියෝගතා පරීක්ෂණයක් පවත්වා සිසුන් තෝරා ගැනීමේ ක්‍රමයක් ද තිබේ.
එහිදී උසස් පෙළ විභාගයේ දී කිසියම් Zලකුණු ප්‍රමාණයකට වඩා ඉහළ අගයක් ලබා ගත් සිසුන්ට අදාළ අභියෝගතා පරීක්ෂණය සඳහා අයඳුම් කළ හැකි අතර ඒ සිසුන් අතරින් සමත් වන පිරිස එම පාඨමාලාව සඳහා බඳවා ගැනේ. එහිදී Zලකුණ එම අභියෝගතා පරීක්ෂණය සඳහා පෙනී සිටීමට සුදුසුකම ලෙස සලකන අතර අදාළ පාඨමාලාවට බඳවා ගැනීමේ දී එය නොසලකයි. එහි දී සලකා බලන්නේ පරීක්ෂණයේ ලකුණුය.
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථන හා ශ්‍රවණ විද්‍යා උපාධි පාඨමාලාවට ද සිසුන් ඇතුළත් කරගන්නේ ද එවැනි අභියෝගතා පරීක්ෂණයක් මගිනි. ඒ අනුව 2017/18 වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීමට අදාළ අභියෝගතා පරීක්ෂණය කැලණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වා සිසුන් ලබා ගත් ලකුණු ද සමත් යැයි සැලකිය යුත්තේ කවර ලකුණු මට්ටමකට ඉහළ සිසුන් ද යන කාරණා ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ලබා දී තිබේ.
කෙසේ වුවද එම පාඨමාලාව සඳහා බඳවා ගත් සිසුන් 48 දෙනා අතරින් 22ක් අදාළ අභියෝගතා පරීක්ෂණය අසමත් බව පසුව අනාවරණය විය. මෙහි දී සිදුව ඇත්තේ අදාළ අභියෝගතා විභාගයේ ප්‍රතිඵල ලේඛන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ලබා දුන්න ද කොමිසමේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අංශයේ සහකාර ලේකම්වරියක විසින් එම ප්‍රතිඵල නොව එම අභියෝගතා පරීක්ෂණය සඳහා මුහුණ දුන් සිසුන්ගේ Zලකුණ මත පෙර කී පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමය.
මෙම අභියෝගත පරීක්ෂණයෙන් සමත් යැයි සැලකිය යුත්තේ ලකුණු 70කට වඩා ඉහළ ලකුණු ප්‍රමාණයක් ගත සිසුන් බව කැලණීය විශ්වවිද්‍යාලයේ වෛද්‍යා පීඨයේ පීඨාධීපතිනී මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය නිකුත් කළ ලිපියක් විශ්වවිද්යාෘල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලැබී තිබුණ ද එම නිර්දේශ මෙහි දී සැලකිල්ලට ගෙන නොමැත.
මෙය සම්පූර්ණයෙන් ම නීති විරෝධි ආයතනික පටිපාටියට එරෙහි ක්‍රියාවකි. මේ නිසා අභියෝගතා පරීක්ෂණය මගින් සමත් වූ පිරිසට අදාළ උපාධිය අහිමි වන අතර අසමත් පිරිසකට අවස්ථාව හිමිව තිබේ. එය දක්ෂ සිසුන් පිරිසකට පමණක් නොව සමාජයට ද කරන ලද බලවත් අසාධාරණයකි.
එහි දී සිදුවන අනෙක් පුදුම සහගත දෙය නම් තමන් විසින් ලිඛිතව දන්වා යැවූ නිර්දේශ තඹයකට නොසලකා අදාළ සිසුන් පිරිස තෝරා යැවූ පසු කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව පීඨාධීපතිනී මහාචාර්ය නිලන්ති ද සිල්වා විසින් ඔවුන් භාර ගැනීමය. කිසිදු වරදක් නොවූ සේ ඉදිරි කටයුතු කිරීමය.
පසුගිය වසරේ විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ලැබූ අදාළ මහාචාර්යවරිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින තත්ත්ව සහතික මණ්ඩලයේ (quality assurnce and accreditation council) නව අධ්‍යක්ෂවරිය ලෙස පත්වීම් ලබන්නේ මෙම අපරාධයට වචනයකින් හෝ විරෝධය පළ නොකර වරද නිවැරදි කිරීමට කටයුතු නොකර සිටීමට කෘතගුණ සැලකීමක් ලෙස විය හැකිය.
සමස්ත විශ්වවිද්‍යාල කොමිසම් සභා ඉතිහාසයටම කළු පැල්ලමක් එකතු කළ මෙම සිද්ධියට වගකිව යුතු සහකාර ලේකම්වරියට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ද මෙතෙක් ගෙන නොමැත. ඒ සඳහා සූදානම් බවක් ද පෙනෙන්නට නැත. එවැනි කිසිදු වරදක් නොවූ ආකාරයට එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා හැසිරෙයි.
එපමණක් නොව එවැනි වරදක් නොවූ බවත් මෙවර අදාළ අභියෝගතා පරීක්ෂණ ලකුණු නොසලකා Zලකුණ පදනම් කරගෙන සිසුන් ඇතුළත් කරගත් බවත් පවසන පහත් තැනට එහි බලධාරීහු වැටී සිටිති. මේ සියලු උපාය උපක්‍රම යොදමින් බලධාරීන් කටයුතු කරන්නේ එහි ප්‍රධානියකුගේ අනියම් පෙම්වතිය වන මෙම සහකාර ලේකම්වරිය ආරක්ෂා කර ගැනීම සඳහා බව කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර අදාළ අභියෝගත පරීක්ෂණ ලකුණු නොසලකා සිසුන් බඳවා ගත්තේ යැයි ඔවුන් කියන ප්‍රකාශය සත්‍යය යැයි අපි මදකට සිතමු. එසේ නම් එවැනි අභියෝගතා පරීක්ෂණයක් පැවැත් වූයේ ඇයි? මෙතෙක් කල් පැවති ක්‍රමවේදයෙන් බැහැරව එම පරීක්ෂණ ලකුණු නොසලකා සිසුන් බඳවා ගැනීමට ඔවුන්ට බලය ලබා දුන්නේ කවුද? ඒ කුමන පරිපාලන තීන්දුවක් යටතේ ද? අදාළ විභාගයට අයඳුම්කර කළ ද පෙනී නොසිටි එහෙත් Zලකුණ ඉහළ සිසුන් ද අදාළ පාඨමාලාවට ඇතුළත් කර ගත්තේ ද?
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ බලධාරීන් මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය යුතුය. ඉතිහාසයේ යළි කිසිදු දිනක නිවැරදි කළ නොහැකි මේ අපරාධය කළ අයට පමණක් නොව එය වසං කිරීමට කටයුතු කළ අයට ද නිසි දඬුවම් ලබා දිය යුතුය. එහෙත් රටේ අවාසනාවට මෙතරම් බරපතළ වරදක් කළ එම නිලධාරිනිය ඇතුළු කොමිසමේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අංශයේ පිරිසට විනෝද චාරිකා යමින් කිසිදු කරදරයක් නැතිව ජොලියේ සිටීමට හැකි වන තැනට රටේ යුක්තිය ද නීතිය ද සාධාරණත්වය ද පිරිහී තිබේ.