ශ්‍රී ලංකන් ගුවන් සේවයට ජාත්‍යන්තර වශයෙන් විශාල කැළලක් එකතු කරමින් එහි ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම තරු හතේ සිට හය දක්වා පහත හෙළීමට එයාර් ලයින් රේටින්ග්ස් ආයතනය (AirlineRatings.com) ආයතනය කටයුතු කර ඇත.
සිඩ්නි සිට කොළඹ බලා සැප්තැම්බර් 21 දා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 607 දරන ගුවන් යානයේ නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධිය පදනම් කරගෙන මෙම තීන්දුව ගෙන තිබේ.
Aviation Herald (AV)ට අනුව, අදාළ ගුවන් නියමුවරයා තම සහයක නිලධාරිනියට ආපසු පැමිණීමට නොහැකි වන ලෙස කටයුතු කර ඇති අතර යානය කොළඹට ගොඩ බෑමෙන් අනතුරුව අපහසුතාවට පත්වූ නිලධාරිනිය පැමිණිලි කර ඇත්තේ ඇය සහ ගුවන් යානයේ නියමුවරයා අතර ඇතිවූ මතභේදයක් අදාළ සිද්ධියට මුල් වූ බවය.
මෙම සිදුවීමට අදාළ චෝදනා එල්ල වූ ගුවන් නියමු වජිර වනසිංහ සේවයෙන් ඉල්ලා අස්වුවත් අදාළ පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුවන අතර මෙම සිදුවීම පදනම් කරගනිමින් ආසියාවේ පැරණිතම ගුවන් සේවයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට විශාල අපකීර්තියක් සහ කැළලක් සිදු වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පොදු සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා ප්‍රකාශ කරයි.