ශ්‍රීපාද මාර්ගයේ මහගිරිදඹේ නාය යෑමක්…. බැතිමතුන් පිවිසීම සීමා කරන්නැයි NBRO නියෝගයක්…!

December 5, 2025 at 9:43 am | by emanisa.lk

ශ්‍රී පාදස්ථානයේ හැටන් පිවිසුම් මාර්ගයේ මහගිර දඹ ප්‍රදේශයේ භූ අස්ථාවරතාව පාලනය කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ලබාදී තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු, අදාළ අස්ථාවර කලාපය හරහා පිවිසීම සීමා කළයුතු බව එම සංවිධානය විසින් රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන විසින් අදාළ නිර්දේශ දිස්ත්‍රික් ලේකම්වරයාට පෙරේදා (04 වැනිදා) යොමුකර තිබේ.

ශ්‍රී පාදස්ථානයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ මහගිරි දඹ ප්‍රදේශයේ ඇතිවූ නායයෑම් තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් ඉකුත් 02 වැනිදා මූලික නිරීක්ෂණයක් සිදුකිරීමෙන් පසුව අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

අස්ථාවරවීම් සිදුව ඇති කොටසේ පවතින පඩි පෙළේ හානියට පත් කොටස කොන්ක්‍රීට් හෝ ගල් බැම්මක් යොදා සකස් කළයුතු බවත්, එහිදී එහි පාදම මව් පාෂාණයට ලකනක (Dowel) මගින් සම්බන්ධ කළයුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිර්දේශ කර ඇත.

නායයෑම සිදුවූ කොටසට තවදුරටත් ජලය ගලායාම වැළැක්වීම සඳහා පඩිපෙළේ දෙපසට පිහිටි පැත්තේ පැති බැම්මක් අවම මිලිමීටර් 300ක් පමණ උසකට ඉදිකළයුතු බවද නිර්දේශ කර තිබේ.

අස්ථාවර තත්ත්වයේ ඇති පාෂාණ කොටස්වල පවතින සියලු කුස්තුර සිමෙන්ති මිශ්‍රණයක් යොදා හොඳින් වසා දැමිය යුතු බවද නිර්දේශ කර ඇත.

ප්‍රවේශ මාර්ගය හරහා තවදුරටත් සුන්බුන් ගලායාම වැළැක්වීම සඳහා එහි පහළ කලාපයේ පිහිටි මාර්ග කොටසෙහි දකුණු පසටවන්නට මිලිමීටර් 500 ක් පමණ උසැති පැති බැම්මක් ඉදිකළයුතු බවද අදාළ නිර්දේශවල සඳහන්කර ඇත.

නාය යාම ආරම්භ වූ කොටසේ පඩිපෙළට ඉහළින් වියනක් සේ රැඳී ඇති සියලු ශාක කොටස්/පඳුරු/පස් ප්‍රවේශමෙන් ඉවත් කළයුතු බවද එහි දැක්වේ.

නාය යාම සිදුව ඇති කොටසේ දෙපසේ රැඳී පවතින අස්ථායි පඳුරුද ඉවත් කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිර්දේශ කරඇත.

මෙහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ මෙම අස්ථාවර කලාපය හරහා පිවිසීම සීමා කළයුතු බවය.

එමෙන්ම,මෙම ස්ථානය රාත්‍රි කාලයේදී ආලෝකමත්ව තබා ගැනීම සහ භූමියේ ඇතිවන වෙනස්කම් සම්බන්ධව අවධානය යොමු කිරීම අනිවාර්ය බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.

මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් පසුව සාමාන්‍ය පරිදි හැටන් පිවිසුම් මාර්ගය විවෘත කළ හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන්කර තිබේ.

මෙම නිර්දේශ ඇතුළත් ලිපියේ පිටපත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ටද,සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාටද,නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාටද,ආරක්ෂක ලේකම්වරයාටද,යුද හමුදාපතිවරයාටද,පොලිස්පතිවරයාටද,වන සංරක්ෂක ජනරාල්වරයාටද යොමුකර ඇත.

සාලිය කුමාර ගුණසේකර
Aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස