විභාග සමතුන් හැලේ…විදේශ සේවයේ නව තනතුරු ඇමැති පුතුන්ට…?

May 25, 2024 at 4:59 pm | by emanisa.lk

ඇමැතිවරුන්ගේ දූ දරුවන්ගෙන් සැපිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කැබිනට් අනුමැතියක් අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වෙයි.

කිසිදු තරඟ විභාගයක් හෝ සම්මුඛ පරීක්ෂණයකින් තොරව මෙසේ රජයේ මැති ඇමැතිවරුන්ගේ දරුවන් බඳවා ගැනීමට යන්නේ විවෘත තරග විභාගයකින් ඉහළ සාමාර්ථ ලබාගත් අයැදුම්කරුවන් 117 දෙනෙක් සිටියදීය.

2021.04.09 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කළ දැන්වීමකට අනුව ශ්‍රී ලංකා විදේශ සේවයේ iii වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිය හිමිකරගත් අයැදුම්කරුවන්ට අවස්ථාව ලබාදුන් අතර, අදියර දෙකකින් පැවති ලිඛිත පරීක්ෂණයකට මෙන්ම සම්මුඛ පරීක්ෂණයකටද ඔවුහු මුහුණ දුන්හ.

මෙම තරග විභාග ප්‍රතිථල මත 40 ක පිරිසක් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අවසර දී තිබියදීත් විදේශ කටයුතු අමාත්‍යාංශය සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගෙන ඇත්තේ 20 ක පිරිසක් පමණි.

දැනටමත් විදේශ සේවයේ තුන්වැනි ශ්‍රේණියේ පුරප්පාඩු 106 ක් තිබේ. සේවක හිඟය හේතුවෙන් ලොව පුරා මහ කොමසාරිස් කාර්යාල, තානාපති කාර්යාල, හා කොන්සල් ජනරාල් කාර්යාලවල සේවා සැපයීම ගැටලුවක්ව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එවැනි වාතාවරණයක් පවතිද්දී විභාගය සමත්වූ 117 කින් 20 දෙනකුට පමණක් පත්වීම් ලබාදීමට යන්නේ, සෙසු පිරිස අප්‍රකට මාර්ග ඔස්සේ සැපිරීමට දැයි සැක සහිත බවද විභාගය සමත් වූවෝ පවසති.

මැති ඇමැතිවරුන් තම දරුවන් විදේශ සේවයට යොමුකරන්නේ ඒ සඳහා ලැබෙන විශාල වැටුප ඇතුළු ආකර්ෂණීය දීමනා, නවාතැන්, ප්‍රවාහන පහසුකම්, වීසා රහිතව ලෝකයේ ඕනෑම රටක සංචාරය කළ හැකි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර මෙන්ම විවිධ වරප්‍රසාද රැසක් හේතුවෙනි.

මෙවැනි වරප්‍රසාද ලැබ විදේශ සේවයට එක්වන ඇමැති දූ පුතුන් එම රටවලදී සරසවි අධ්‍යාපනයේ නියැළීම, පෞද්ගලික ව්‍යාපාරික කිරීම සහ විනෝද වීම මිස රට වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරේ නොයෙදෙන බව ඉතා ප්‍රකටය.

Aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *