විනයක් වෘත්තීයභාවයක් නැති දේශපාලන ත්‍රස්තවාදයකට මුහුණ දෙන්න වෙලා…! – මහින්ද…

September 13, 2025 at 5:59 am | by emanisa.lk

පෞද්ගලික පළිගැනීම් ඉලක්ක කරගත්, විනයක් මෙන්ම වෘත්තියභාවයක් රහිත දේශපාලනික ත්‍රස්තවාදයකට මුහුණ දීමට සිදුව ඇති බවත්, ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂට දේශපාලන තර්ජන, ගර්ජන හොඳින් හුරු පුරුදු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

රටේ පැවති ත්‍රස්තවාදය අවසන් කිරීම නිසාම ඊට අනුෂාංගිකව පැන නැගී ඇති සිද්ධි දාමයක ඉලක්කය බවට තමන් පත්ව ඇති බවත්, ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳව කිසි දිනෙක පසුතැවෙන්නේ නැති බවත් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනතාවගේ ආදරය සහ ලෙන්ගතුකම තරම් වටිනා දෙයක් තමන්ට නොමැති බවත්, අතීතයේ ලද ජනතා ආදරයම අද ද ඒ අයුරින්ම ලැබීම තමන් ලද වරප්‍රසාදයක් බවත්, එම වරප්‍රසාදය අහිමි කිරීමට කිසිවෙකුට නොහැකි බවත් ඔහු සඳහන් කර තිබේ.

ජනතාව වෙනුවෙන් කිසිවක් කළ නොහැකිව, ඉතා කෙටි කාලයක් තුළ දිනෙන් දින ජනතා අප්‍රසාදයට ලක් වන පිරිසක් තම නොහැකියාව වසා ගැනීමට මාධ්‍ය ඉදිරියේ සිදු කළ ප්‍රකාශයන්ට අවනත වීමේ අවශ්‍යතාවක් නොතිබූ බවත්, එහෙත් පසුව ඔවුන් විසින්ම නව නීති සම්මත කිරීමත් සමඟ පැය 24ක් තුළ තමන් විජේරාම නිවසට සමු දුන් බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

මහින්ද රාජපක්ෂ වන තමා හිස නමන්නේ නීතිය ඉදිරියේ සහ තම ජනතාව හමුවේ පමණක් බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *