විදුලි බිල අඩු කිරීම තවමත් වැට උඩ…!

January 20, 2025 at 11:09 am | by emanisa.lk

2025 මුල් මාස 06 සඳහා විදුලි ගාස්තු සියයට 20කින් පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළත් එම ගාස්තු අඩුවනවාද? යන්න පිළිබඳව ඊයේ (19) වන විටත් ස්ථිර විසඳුමකට පැමිණ නොමැති බවට වාර්තා විය.

මහජන උපයෝගිතා කොමිසම පළාත් නවයම ආවරණය වන පරිදි 2024 දෙසැම්බර් 27 සිට ජනවාරි 10 දක්වා කාලය තුළ මහජන උපදේශන අදහස් හා යෝජනා ලබාගෙන විදුලිබිල අඩු කිරීමට පසුගිය සිකුරාදා (18) තීරණය කර තිබුණි.

විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගෘහස්ථ අංශය සඳහා සියයට 20කින් ගාස්තු අඩු කර ඇත. ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යායතන සඳහා 21%ක්, හෝටල් සඳහා 31%ක්, කර්මාන්ත කාණ්ඩය සඳහා 30%ක්, පොදු කාර්ය කාණ්ඩය සඳහා 12%ක්, රාජ්‍ය ආයතන 11%ක් සහ වීථි ලාම්පු සඳහා 11%ක් ලෙස ගාස්තු අඩු කර තිබුණි.

මේ අතර මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දීමෙන් පසු මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් දැනුම් දෙන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව එහි නිල වශයෙන් සිදුකිරීම සම්බන්ධයෙන් තීරණය කිරීම ජනාධිපතිවරයාට පැවරී ඇත.

විදුලි බිල අඩු කිරීම නිසා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන ගණනක් පාඩුවන බවත්, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදී තිබෙන කොන්දේසි සමග සලකා බැලිය යුතු බවත් විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි. මෙවැනි තත්ත්වයක් තිබියදී විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ස්ථිර එකඟතාවකට පැමිණ නැති බවද වාර්තා වේ. මේ අතර බලශක්ති ඇමැති ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා කියා සිටියේ මහජන උපයෝගිතා කොමිසමේ තීරණය ක්‍රියාත්මක කරන බවයි.

චමින්ද සිල්වා

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *