විදුලි ගාස්තු නැංවීමේ අරමුණ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීමයි…! – ලංකා විදුලිබල මණ්ඩලය…

May 18, 2025 at 3:45 pm | by emanisa.lk

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් මගින් මේ බව පවසා තිබේ.

2014-2022 කාලය තුළ විදුලි ජනනය, සම්ප්‍රෙෂණය සහ බෙදාහැරීම සඳහා දැරීමට සිදුවූ පිරිවැය ඉහළ ගිය ද විදුලි ගාස්තුවල කිසිදු වෙනසක් සිදුනොකළ බවත්, එම කාලය තුළ ඉන්ධන ගාස්තු, ගල් අඟුරු, අමතර කොටස් සහ නඩත්තු වියදම් ද නිරන්තරයෙන් ඉහළ ගිය බවත් නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

එලෙස ඉහළ ගිය පිරිවැයේ සම්පූර්ණ බර මණ්ඩලය විසින් දැරීම හේතුවෙන් මහා පරිමාණ ණය ගැනීමට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ගෙවීම් කල්දැමීමට සිදුවීම මේ වනවිට ණය අර්බුදයක් දක්වා ඔඩුදුවා ඇති බව ද එහි දැක්වෙයි.

ඒ අනුව යෝජිත විදුලි ගාස්තු සංශෝධනය් අරමුණ වන්නේ අත්‍යවශ්‍ය වියදම් ක්‍රමානුකූලව ප්‍රතිපූර්ණය කරගැනීම, ණය අර්බුදය කළමණාකරනය කිරීම සහ සැපයුම්කරුවන්ට නියමිත කලට ගෙවීම් සිදුකිරීම යනාදිය වේ.

ලංවිමට අනාගත බලශක්ති සුරක්ෂිතතාව අනතුරට පත්නොකරමින් ආරක්ෂිත, විශ්වාසනීය සහ අඛණ්ඩ විදුලි සැපයුමක් සියලුම ලාංකිකයන්ට ලබාදීමට ඉඩසැලසීම මෙහි මූලික අරමුණ ලෙස දක්වා තිබේ.

ජනතාවට විදුලි සැපයුම හැකි තරම් පහසු මිලට ලබාදීමටත්, දිගු කාලීන ප්‍රතිසංස්කරණ ඇති කරමින් අඩු වියදම් බලශක්ති ප්‍රවාහයන් හඳුන්වා දීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැවංවීම හරහා පිරිවැය අඩුකිරීමෙන් බලශක්ති ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම ලංකා විදුලි බල මණ්ඩලයේ අරමුණ බව සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *