විදුලිය පිරිමහින්න කොළඹ වීදි ලාම්පු දැල්වීම සිග්සැග් ක්‍රමයට….!

April 1, 2026 at 10:31 am | by emanisa.lk

කොළඹ මහ නගර සභා ප්‍රදේශය තුළ වීදි ලාම්පු 12 000කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත්, පස්වරු 6-10ත් අතර කාලය තුළ මුල් වටයේදී ඉන් 2,000ක් පමණ නිවා දැමීම සම්බන්ධව සාකච්ඡා කර තීරණයක් ගතයුතු බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (31 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

මෙහිදී සිග්සැග් ක්‍රමයට, එකක් හැර එකක් වීදි ලාම්පු නිවා දැමීම සම්බන්ධව සාකච්ඡා කර තීරණ ගතයුතු බවද අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

හදිසි අනතුරු සිදුවිය හැකි ස්ථාන, යම් අපරාධ සිදුවිය හැකි ස්ථාන, දිට්වා ආපදා තත්ත්වය නිසා මාර්ග අලුත්වැඩියා කරන ස්ථාන සම්බන්ධව අවධානය යොමුකර, පොලිසිය සමග සාකච්ඡා කර එම කටයුතු සිදු කරන ලෙස පළාත් පාලන ආයතනවලට දැනුම්දී ඇතැයිද කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

සියලුම රජයේ ආයතන, අමාත්‍යාංශ යටතේ තිබෙන ව්‍යවස්ථාපිත ආයතන සඳහා පස්වරු 3 ට වායු සමීකරණ යන්ත්‍ර අක්‍රිය කිරීමට අදාළව ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට අදාළව නිකුත් කරන ලද මාර්ගෝපදේශ මගින් යෝජනා කර තිබෙන බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධව පුද්ගලික අංශයට නියෝගයක් නිකුත් කිරීමට නොහැකි වූවද, අදාළ මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙස පුද්ගලික අංශයෙන් ඉල්ලීමක් කළ බවද අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

අධිකරණ පද්ධතියටද මීට අදාළව මාර්ගෝපදේශ සහ උපදෙස් නිකුත් කිරීමට අදාළව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයිද ඔහු පැවැසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *