වාහන සිහිනය යළි බොඳවෙයි… තවත් 3%ක ප්‍රදර්ශනාගාර බද්දක්…!

October 27, 2024 at 4:57 pm | by emanisa.lk

වාහනයක් මෙරටට ආනයනය කර දින 90 ක් තුළ එම වාහනය ලියාපදිංචි කිරීමට ආනයනකරු අසමත් වුවහොත් එම වාහනයේ පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහන වටිනාකමින් සියයට 3 කට සමාන මුදලක් බද්දක් ලෙස අයකර ගැනීමට වාහන ආනයනය කිරීමේ සීමා ලිහිල් කිරීමේ නව රෙගුලාසි යටතේ තීරණය කර ඇත.

ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නිලධාරියකු ප්‍රකාශ කර සිටියේ වාහන ආනයනකරුවන් විශාල වශයෙන් වාහන ආනයනය කර ප්‍රදර්ශනාගාරවල තබා ගැනීම වැළැක්වීම සඳහා මෙම බද්ද හඳුන්වාදී ඇති බවයි.

එසේ දීර්ඝ කාලයක් ප්‍රදර්ශනාගාරවල වාහන රඳවා තබා ගතහොත් නැවත වරක් විදෙස් සංචිත ගැටළුවක් මතුවීමේ අවදානමක් ඇතිවිය හැකි බව ද එම නිලධාරියා පැවැසුවේය.

විශාල වශයෙන් වාහන ආනයනය කර ප්‍රදර්ශනාගාරවල දීර්ඝ කාලයක් තබා ගැනීමට හැකිවන ආකාරයේ ප්‍රමාණවත් නිල සංචිත ප්‍රමාණයක් තවමත් ශ්‍රී ලංකාව සතුව නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේය.

එසේම වාහන ආනයන බලපත්‍ර 8000 ක් පමණ අනුමැතිය ලබාගැනීම සඳහා පැවතිය ද රජය මෙතෙක් ඒ පිළිබඳ තීන්දුවක් ගෙන නොමැත. පවතින වාහන ආනයන බලපත්‍ර ක්‍රමය රජයට කිසිදු ආදායමක් ලබා නොලැබීම නිසා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද යෝජනා වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *