ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011දී ග්‍රීක රජයේ බැඳුම්කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ දූෂණ නඩුව දෙසැම්බර් 10 වන දින අධිකරණය විසින් නිශ්ප්‍රභ කළේය.
නඩුව කොළඹ අංක 06 මහාධිකරණය හමුවේ කැඳවූ විට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC)වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා විසින් නව දූෂණ විරෝධී පනතේ 67 වැනි වගන්තිය යටතේ ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව, කොමිෂන් සභාව සියලුම අධිචෝදනා ඉල්ලා අස්කර ගන්නා බවයි.
අධිචෝදනා ඉල්ලා අස් කරගැනීමේදී, කොමිෂන් සභාව හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගෙන් පමණක් රුපියල් බිලියන 1.8ක වන්දි මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටි අතර, මාස තුනක් ඇතුළත එම වන්දි මුදල ගෙවා නොතිබුණහොත් නැවතත් නඩුව ගොනු කරන බව දන්වා සිටියේය.
කෙසේ වෙතත්, විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම්වලට සවන් දීමෙන් අනතුරුව චෝදනා නිශ්ප්‍රභා කළ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණි.
හිටපු මහ බැංකු අධිපති කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි ඩිලාන් රත්නායක මහතා මෙහිදී පෙන්වා දුන්නේ මෙම දූෂණ චෝදනා නීතිය මත හෝ සාක්ෂි මත පවත්වාගෙන යා නොහැකි බවයි. ආයෝජන තීරණය මුදල් පනතෙන් බලය ලත් නිලධාරීන් විසින් සාමූහිකව ගත් එකක් බවත්, රාජ්‍යට අයුතු පාඩුවක් සිදුකිරීමේ චේතනාවක් හෝ දැනුමක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් ඔහු පැවසීය.
එවකට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති (දැන් මහ බැංකු අධිපති) වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මුදල් මණ්ඩලයේ සාමූහික ආයෝජන ක්‍රියාවලිය ගැනත්, 2018දී හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම යෙදෙන සංචිත කළමනාකරණ මාර්ගෝපදේශවලට අනුකූලව සිදුවූ බවට ලබාදුන් තහවුරු කිරීමත් ඔහු උපුටා දැක්වීය.
එසේම, 2010 සහ 2011 වර්ෂවලදී මහ බැංකුවේ සංචිත කළමනාකරණයෙන් ලැබුණු ලාභ ඩොලර් මිලියන 341ක් සහ ඩොලර් මිලියන 430ක් වූ බවත්, එම ලාභ ලබාගත් එම නිලධාරීන්ම මෙම විවාදිත ගනුදෙනුවට සම්බන්ධ වූවන් බවත් ප්‍රකාශ කළ රත්නායක මහතා එබැවින් පාඩුවක් සිදුකිරීමේ චේතනාවක් තිබූ බවට චෝදනාවට පදනමක් නැති බව පෙන්වා දුන්නේය. මෙහි වරදක් ඇත්නම්, උපරිම වශයෙන් මෙය විනිශ්චය දෝෂයක් (Error of Judgement) පමණක් බවත්, කිසිසේත්ම මෙය අපරාධයක් නොවන බව ඔහු තර්ක කළේය.
යහපත් චේතනාවෙන් (සද්භාවයෙන්) ගන්නා ලද ක්‍රියාමාර්ග සඳහා මුදල් පනත මගින් නීතිමය ආරක්ෂාව ලබාදී ඇති බවත්, එම ආරක්ෂාව ඉවත් කිරීමට වැරදි ලෙස හෝ හිතාමතාම පාඩුවක් කිරීමේ සාක්ෂි කිසිවක් ඉදිරිපත් වී නැති බවත් ඔහු තව දුරටත් ඉදිරිපත් කළේය.
ඉහත කී ග්‍රීක බැඳුම්කර ආයෝජනය සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින්, මුදල් මණ්ඩලය අත්තනෝමතිකව හෝ වංචනිකව කටයුතු කළ බවට නිගමනය කළ නොහැකි බව 2014දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ බව ප්‍රකාශ කරමින් විත්තිය වෙනුවෙන් එම තීන්දුව ද උපුටා දැක්විණි.
චෝදනා පත්‍රය ඉදිරියට ගෙන යාමෙන් සිදු වන්නේ සාක්ෂි මගින් අනුබලයක් නොමැති, නිෂ්ඵල හා දීර්ඝ නඩු විභාගයක් පමණක් බැවින්, නව දූෂණ විරෝධී පනතේ (Anti Corruption Act) 67 වැනි වගන්තිය යටතේ මෙම අධි චෝදනාව ඉල්ලා අස්කර ගන්නා ලෙස රත්නායක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
(2025.12.12 Daily FT පුවත්පත් වාර්තාවේ දළ සිංහල පරිවර්තනයකි.)
සුදර්ශන ගුණවර්ධන FB