වගා ආයෝජන පිරමිඩ ජාවාරමක්… ඒ පිටුපස සුපර් මාර්කට් ඇස් බැන්දුම්… මුදල් තැන්පත් කරන්න එපා… තැන්පත් කළා නම් ආපසු ගන්න…! – මහ බැංකු අධිපති….

July 23, 2026 at 11:23 am | by emanisa.lk

විවිධ වගා ක්‍රම සඳහා ආයෝජනය කරන මුවාවෙන් ජනතාවගෙන් තැන්පතු ලබාගැනීම නීතිවිරෝධී ක්‍රියාවක් බවත් එවැනි අයට හසු නොවන්නැයි ජනතවගෙන් ඉල්ලා සිටින බවත් මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

“වගා සමාගම් මුවාවෙන් ජනතාවගෙන් මුදල් තැන්පත් ගැනීමේ ව්‍යාපාර අපි දකිනවා පහුගිය කාලය තුළ ව්‍යාප්ත වේගෙන ගියා කියලා. ඒ අනුව අපි යම් යම් පියවර බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අංශය විසින් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ කවුරුහරි කෙනෙක් ජනතාවගෙන් මුදල් ඉල්ලනවා නම් යම්කිසි වගා ව්‍යාපෘතියක් කරලා මාසිකව යම්කිසි මුදලක් දෙනවා හෝ ඒක අවසානයේ යම්කිසි මුදලක් දෙනවා කියලා, ඒක පෙනෙන ආකාරයට ජනතාවගේ තැන්පත් ලබාගැනීමක්. ඒක නීතිවිරෝධීයි. ඒවා අපට වාර්තා වුණාම අපි අපේ ගන්න තියෙන ක්‍රියාමාර්ග අරගෙන ඩිටර්මයින් කරනවා, ඊටප්ස්සෙ ඒ ක්‍රියාවලිය ඉදිරියට යනවා.

විශේෂයෙන්ම අපිට ජනතාවගෙන් ඉල්ලා සිටින්න තියෙන්නෙ වගා ව්‍යාපෘති කරන එක හොඳයි, ඒක තමන්ගෙ මුදලින් කරලා දියුණු වෙනවා නම් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ කාටවත්. ඒ ව්‍යාපෘතිවලින් මුදල් උපයලා තව තවත් ව්‍යාපෘති කරනවා නම් සුපර් මාකට් හරි තව මොනවා හරි ඒත් කමක් නෑ. නමුත් ඒ අය එනවා නම් ජනතාවගෙන් මුදල් ඉල්ලාගෙන මෙන්න මේකට ආයෝජනය කරන්න, අපි මාසිකව මුදලක් දෙනවා, අවසානයේ ලොකු මුදලක් දෙනවා කිව්වොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ජනතාව දැනගන්න ඕනෙ එහෙම මුදල් ඉල්ලනවා නම් ජනතාවගෙන් ඒක යම්කිසි ආකාරයක නිල නොවන ආකාරයෙන් තැන්පතු මුදල් ලබාගැනීමේ උත්සාහයක් සහ ලබාගැනීමක්. එතකොට විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ ඒ වගේ දේවල්වලට අහුවෙන්න එපා.

දැන් මුදල් ලබාදීපු අය ඉන්නවා නම් ඒගොල්ලන්ට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් හොඳම දේ නැවත ඒ ආයෝජනය කළ මුදල් ඉල්ලා සිටීම. ඒ ඉල්ලා සිටීම තුළින් කරන්න පුළුවන් වෙන්නෙ ඒ ව්‍යාපෘතිය හොඳ දෙයක් නම් ඒ කරන අයට පහසුවෙන් ඒ මුදල දෙන්න පුළුවන් වෙන්න ඕනෙනෙ. තමන්ගෙ මුදල් පාවිච්චි කරලා කරන්න පුළුවන්, තැන්පතු වශයෙන් අනුන්ගෙන් ගත්ත ආයෝජන මුදල් නැවත ලබාදෙන්න පුළුවන්. දෙන්න අදිමදි කරනවා කියන්නෙම මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම තියෙනවා නම් අපේ මහ බැංකුවට පැමිණිලි කරන්න, මගේ මුදල් මෙහෙම අරගෙන තියෙනවා තැන්පතු වශයෙන්, ඒක නැවත ඉල්ලුවාම දෙන්නෙත් නැහැ කියලා.

එතකොට තමයි අපිට පුළුවන් පරීක්ෂණයක් කරගෙන ඉදිරියට යන්න. පළවෙනියටම මම ඉල්ලීම කරන්නෙ ජනතාව දැනුවත් වෙලා මේවාට ආයෝජනය කරන්න එපා. දෙවනුව ආයෝජනය කරලා තියෙනවා නම් නැවත ඒ මුදල් ඉල්ලා සිටින්න. දෙන්නෙ නැත්නම් ඒ කියන්නෙ එතන ප්‍රශ්නයක් තියෙන එකක්. ඒ මුදල් දෙන්න හැකියාවක් නැහැ, අර පිරමිඩ් ක්‍රම වාගේ අනුන්ගෙ මුදල් අරගෙන ඒක නැවත දෙන එකක්. එතකොට එතැනදී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අපි ගන්නවා.

අනිත් එක තමයි අපි විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා මේ මාධ්‍යවලට. අපි දකිනවා අපි මෙහෙම සාකච්ඡාවක් කරලා මාධ්‍ය වාර්තා කළාම ඊට යටින් පිටු බාගයක් විතර තියෙනවා මුදල් ගෙවපු දැන්වීම්. ඊට පස්සෙ රූපවාහිනියේ සමහර චැනල්වල මැච් එකක් යනකොට යටින් යනවා මේ වගේ ඒවා. අපි ඉල්ලා සිටින්නේ මාධ්‍ය දායක වෙන්න එපා ජනතාවගේ මුදල් මේ වගේ දේවල්වලට අහුවීමට. මං හිතන්නෙ අපි ලියුමක් යවලා තියෙනවා සියලුම මාධ්‍ය ආයතනවලට තමන්ගෙ වෙළඳ දැන්වීම් ඉදිරිපත් කිරීමේදී වඩාත්ම පරෙස්සමින් ජනතාව මුලා නොවන ආකාරයේ කටයුතු කරන්න, මේ වගේ ඒවා විශේෂයෙන් බාරගන්න එපා කියලා අපි ඉල්ලලා තියෙනවා.”

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මේ බව පැවසුවේ ඊයේ (22) ශ්‍රී ලංකා මහබැංකුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *