වගකීම් ඉටුකරන්න බැරි නම් තවත් පුටුවල ඉඳලා වැඩක් නෑ…! – ජනපතිගෙන් නීතිපතිට අවවාද

February 7, 2025 at 10:08 am | by emanisa.lk

ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂාව තහවුරු කිරීමේදී හා යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුවට පැවරී ඇති විශාල වගකීම ඉටු කිරීමට අසමත් නම් එම පුටුවල වාඩිවී සිටීම තවදුරටත් පලක් නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක නීතිපති පාරින්ද රණසිංහ කැඳවා ප්‍රකාශ කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග පවසයි.

ඊයේ (06) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීතිපතිවරයා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුණගැසුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර තිබේ.

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත විකුමතුංග ඝාතන නඩුවේ විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙසට නීතිපති පාරින්ද රණසිංහ විසින් කරන ලද නිර්දේශය සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවක් මතුව ඇති පසුබිමක් තුළ මෙසේ ජනාධිපතිවරයා ඔහු කැඳවා සාකච්ඡා කර ඇති අතර එහිදී නීතිපති පාරින්ද රණසිංහ ද ඒ පිළිබඳ හේතු දක්වා ඇති බව ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා විසින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළ යැයි සැක කළ චූදිතයන් පිළිබඳව නීතිපතිගෙන් කරුණු විමසා ඇති අතර එහිදී නීතිපතිවරයා පිළිතුරු දී ඇත්තේ අදාළ නඩුව එම ඝාතනයට වගකිවයුතු අය පිළිබඳ නඩුවක් නොව තොරතුරු වසන් කිරීමට අදාළ නඩුවක් බව ය.

ඒ පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකි නම් නැවත නඩු පැවරිය හැකි බව ද ඔහු ජනාධිපතිවරයාට පෙන්වාදී ඇති බව සඳහන් වේ.

කෙසේ නමුත්, මීට අදාළ පරීක්ෂණ සිදුකෙරෙන අතරවාරයේ නැවත එකී නිදහස් කළ චූදිතයන්ගේ සාක්ෂි ගැනීම අවශ්‍ය වුවහොත් ඊට ඔවුන් නැවත කැඳවීමට වුවද සූදානම් බව එහිදී නිතිපතිවරයා ප්‍රකාශ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද, මේ සිදුවීම මත සමාජය තුළ සහ මාධ්‍යවේදීන් අතර ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළ ජනාධිපතිවරයා නීතිපති පාරින්ද රණසිංහ වෙත දැඩි අවවාද කොට ගත යුතු පියවර පිළිබඳව වැඩිදුර උපදෙස් දී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *