ලෝක ඉතිහාසයේ විශාලතම සමුද්‍ර හානිය කළේ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරයි…! – අනුර…

May 12, 2023 at 8:20 am | by emanisa.lk

එක්ස්ප්‍රස් පර්ල් නෞකා හානිය නිසා රුපියල් ඩොලර්වලින් කිව නොහැකි අති විශාල විනාශයක් මෙරට පරිසර පද්ධතියට සිදුව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්ස්ප්‍රස් පර්ල් නෞකා හානියට අදාළ වන්දි පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට ඊයේ (11) එකතු වෙමිනි.

“අපට තිබෙන කුකුස රාජ්‍ය අමාත්‍යතුමාගේ කතාවෙන් තව තවත් වර්ධනය කළ එක තමයි කතාවේ පදනමෙන් සිදුවුණේ. මෙය ලෝක ඉතිහාසයේ විශාලතම සමුද්‍ර රසායනික විනාශය. මෙයට පෙර මේ තරම් විනාශයක් සිදුවී නැහැ. අපේ මුහුදු පැලෑටිවලට සිදුවූ විනාශය, මුහුදු ජීවීන්ට සිදුවූ විනාශය, අපේ වෙරළ තීරයට සිදුවූ විනාශය, අපේ වායුගෝලයට සිදුවූ විනාශය, මේ ආදී වශයෙන් ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදුවී තිබෙන විශාලතම සමුද්‍රීය රසායනික විනාශය බව තහවුරු වෙනවා.

මේ තත්වයන් නැවත ප්‍රතිසංස්කරණය වීමට කොපමණ කල්ගත වේද යන සැකයක් ඇති වී තිබෙනවා. ඒ වගේම දැනට තිබෙන සියලු විද්‍යාත්මක වාර්තා අනුව තව තවත් ඉදිරියට විනාශය උග්‍රවෙමින් යනවා. ඒ නිසා පාරිසරික වශයෙන් සිදුවී තිබෙන විශාලම විනාශය පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන්නේ. නමුත් මේ සාකච්ඡාවේ පදනම වී තිබෙන්නේ අප ලබාගන්නා වන්දිය පිළිබඳවයි.

අතිශය විනාශකාරී තත්ත්වයක් අවසානයේදී වන්දියකට ලඝු කරමින් සාකච්ඡා කරනවා. එය වැළැක්විය නොහැකි තත්ත්වයක් බව මම හිතනවා. නමුත් මේ කතා කරන්නේ වන්දිය අඩුද වැඩිද, හරිද වැරදිද වැනි කරුණු ගැන නොවේ. නමුත් සිදුවූ විනාශය රුපියල්වලට හෝ ඩොලර්වලට හෝ පරිවර්තනය කළ නොහැකි තරමේ විනාශයක්.

මෙය අපේ රටේ මෙවැනි ඛේදවාචක සිදුවූ පළමු අවස්ථාව නොවෙයි. මෙතෙක් සිදුවූ සෑම ඛේදවාචකයක් පිටුපසම ඉතාමත් නරක පන්නයේ දේශපාලන සංස්කෘතියක් හරහා අපරාධ සිදුවී තිබෙනවා. 2004 සුනාමියෙන් 35,000කට වැඩි පිරිසක් මියගියා. අපේ වෙරළ තීරය මුළුමනින්ම විනාශ වුණා. නමුත් අවසානයේ ශේෂ පත්‍රය ලෙස ඉදිරිපත් වී තිබෙන්නේ සුනාමි අරමුදල් වංචාව පිළිබඳවයි. ඊළඟට යුද්ධයෙන් දීර්ඝ විනාශයක් සිදුවුණා. ජීවිත දහස් ගණනක් නැතිවී කෝටි ප්‍රකෝටි ගණන් දේපොළ අහිමි වුණා. අපේ රට වසර ගණනාවකින් ආපස්සට ඇදී ගියා. නමුත් යුද්ධය අවසන් වුණාට පසු එළියට එන්නේ මිග් ප්‍රහාරයක යානා ගනුදෙනු, අවි ආයුධ ගනුදෙනු ඇතුළු දේවල්”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස