දුප්පත් ජනතාවගේ දරිද්‍රතාව හෝ විශේෂ සෞඛ්‍ය සහ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති අරමුදලෙන් හිටපු මැති ඇමැතිවරුන් රුපියල් ලක්ෂ ගණන් මුදල් ලබාගෙන ඇති ආකාරය පිළිබඳ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති නලින්ද ජයතිස්ස මහතා මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කළේය.
එහිදී හිටපු අගමැති දිමු ජයරත්න මහතා ලක්ෂ 300ක්ද, දිනේෂ් ගුණවර්ධන මහතා ලක්ෂ 121ක් වශයෙන් ලබා ගෙන තිබීම පුදුම සහගත යැයි ද ඔහු කියා සිටියේය.
2005 සිට 2024 දක්වා කාලයේ දී හිටපු මැති ඇමැතිවරුන් වන පී.හැරිසන්, පියසේන ගමගේ, සුමේධා ජයසේන, මනෝජ් සිරිසේන, පී.දයාරත්න, එස්.සී. මුතුකුමාරණ, වාසුදේව නානායක්කාර, සරත් අමුණුගම, එස්.බී. නාවින්න යන අය මෙලෙස ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත් සිටි පිරිස අතර වන බව ඔහු කීය.
ඊට අමතරව නම යම් තරමක් සොයා ගැනීමට අපහසු අයද වන බවත් ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වන ජේ.පී.ඩී.පී.කේ. ජයසේකර නමැත්තකු ද ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇති අතර මෙම ජයසේකර නමැත්තා දයාසිරි ජයසේකර විය හැකි යැයිද නලින්ද ජයතිස්ස මහතා කීය. කළුතර දිස්ත්‍රික්කයේද එච්.එම්.පී.එන්.ඩී. සිල්වා යන නම පියල් නිශාන්ත ද සිල්වා යැයිද සඳහන් කළේය.
මේ ආකාරයට කොළඹ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී එස්.ඩී.ඒ.එස්. ප්‍රේමජයන්ත, (සුසිල් ප්‍රේමජයන්ත) ඊ.ඒ.අයි.ඩී.වී.පෙරේරා (බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය පෙරේරා) යන හිටපු මැති ඇමැතිවරුන් ද මුදල් ලබා ගත් පිරිස අතර වන බව හෙතෙම කියා සිටියේය.
මීට අමතරව ජගත් කුමාර ලක්ෂ 10ක්, කේපීඑස් කුමාරසිරි රුපියල් 953430, ජයලත් ජයවර්ධන ලක්ෂ 10, නාමල් ගුණවර්ධන ලක්ෂ 10, ධර්මදාස බණ්ඩා ලක්ෂ 10, විදුර වික්‍රමනායක ලක්ෂ 15, විමලවීර දිසානායක ලක්ෂ 30, ලකී දිසානායක ලක්ෂ 16.2, පී.චන්ද්‍රසේකරන් ලක්ෂ 14, ජෝන් අමරතුංග ලක්ෂ 40, ජෝෂප් මයිකල් පෙරේරා ලක්ෂ 27, ටීබී ඒකනායක ලක්ෂ 48, ඩබ්ලිව්.එම්.එස්. ෆොන්සේකා ලක්ෂ 55, ජයන්ත වීරසිංහ ලක්ෂ 90, ඇලික් අලුවිහාරේ ලක්ෂ 22, රංජිත් අලුවිහාරේ ලක්ෂ 8.6, රාජිත සේනාරත්න ලක්ෂ 100, කෙහෙළිය රඹුක්වැල්ල ලක්ෂ110, එම්.ඒ.කේ.ඩී.එස්. ගුණවර්ධන ලක්ෂ 112, රංජිත් සොයිසා ලක්ෂ 188, දිමු ජයරත්න ලක්ෂ 300ක් වශයෙන් විශාල මුදලක් ලබා ගෙන ඇතැයිද ඔහු කියා සිටියේය.
හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සමයේදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෛද්‍ය ඒකකයේ වියදම් ලෙස රුපියල් ලක්ෂ එකසිය විසි එකක් වැය කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
1978 නොවැම්බර් මාසයේදී පනතකින් පිහිටුවා ඇති මෙමගින් දරිද්‍රතාවට සහන සැලසීම, අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම, ආගම නැංවීම හෝ ආගමික වත් පිළිවෙත් පවත්වා ගැනීම සඳහා ජාතිය වෙනුවෙන් සේවයක් කිරීම සඳහා ප්රදානය කිරීම සඳහා හෝ ජනාධිපති තීරණය කරන වෙනත් කාර්යයන් සඳහා මෙම අරමුදල ස්ථාපිත කර ඇත.
එම අරමුදලේ සභාපති ධුරය ජනාධිපතිවරයා විසින් හොබවන අතර අධ්යක්ෂ මණ්ඩලයක් විසින් මෙම අරමුදල පාලනය කරනු ලැබේ.