රෝගීන් ඇපයට තබාගෙන, රෝගීන් දුෂ්කරතාවට පත්වන අයුරින්, සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවා නම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳී සිටින බවත් ඒ වෙනුවෙන් නොපැකිළිව කටයුතු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලෝක වකුගඩු දිනය වෙනුවෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කරන ලද ලෝක වකුගඩු දින සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව බවත්, මෙම පණිවිඩය තේරුම් ගෙන සියලු සෞඛ්‍ය වෘත්තිකයන් කටයුතු කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයත්, රජයත් බලාපොරොත්තු වන බවත්, සෞඛ්‍ය වෘත්තිකයින් සමග සාකච්ඡාකර විසඳාගත නොහැකි ගැටලු, ප්‍රශ්න කිසිවක් නොමැති බවත්, ඒ වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක කැපවීමට සූදානම් බවත් ඇමතිවරයා සඳහන් කරයි.
කලින් පැවති රජයන්, කටයුතු කළ ආකාරයට නොව ජනතාවට, සෞඛ්‍ය වෘත්තිකයින්ට අවශ්‍ය ඕනෑම ගැටලුවක්, ප්‍රශ්නයක් වර්තමාන රජය සමග සාකච්ඡා කර විසඳාගැනීමට හැකියාව තිබෙන බවත්, එම සාකච්ඡාවලට රජයක් ලෙස ජනතාවගේ පැත්තේ සිට ගෙන විසඳුම් ලබාදෙන්නට ඕනෑම අවස්ථාවක සූදානම් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
ලක්ෂ එකහමාරක සෞඛ්‍ය බලඇණියක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන බවත්, ඔවුන්ගේ සේවාව මෙරටට අත්‍යවශ්‍ය බවද, එම පිරිස විශාල කාර්යභාරයක් උසුලමින් කටයුතු කරන බවද සිහිපත් කළ අමාත්‍යවරයා වාට්ටුවට, බාහිර රෝගී අංශයට, සායනයට, විවිධ දුෂ්කරතාවන් සමග පැමිණෙන රෝගියා වෙනුවෙන් ඉහළම සත්කාරය ලබාදීම සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වගකීමක්, යුතුකමක් බවද පෙන්වා දුන්නේය.